ජීවිත වෙනස් කළ පොතක්
“මට ජීවත් වෙන්න වුණේ පාරේ”
ඉපදුණ අවුරුද්ද: 1955
රට: ස්පාඤ්ඤය
අතීතයේදී: මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ දරුණු කෙනෙක්
මගේ අතීතය
ජීවිතේ වරද්දගත්ත තැන්වලින් ඉගෙනගන්න සමහරුන්ට ගොඩක් කල් යනවා. මාත් ඒ වගේ කෙනෙක්. මං ඉපදුණේ, හැදුණේ වැඩුණේ ස්පාඤ්ඤයේ බාසිලෝනාවල. අපි ජීවත් වුණ පැත්තට කිව්වේ සොමොරොස්ට්රෝ කියලා. ඒක වෙරළබඩ පැත්තක්. සෙමොරොස්ට්රෝ කියපු ගමන් එකපාරටම ඕනෙම කෙනෙක්ට මතක් වෙන්නේ අපරාධ සහ මත්ද්‍රව්‍ය. ඒ දේවල් එච්චරටම එහේ ප්‍රසිද්ධයි.
අපේ පවුලේ ළමයි නමදෙනෙක් හිටියා. මං තමයි වැඩිමලා. අපි හරි දුප්පත්. ඒ නිසා තාත්තා මාව ටෙනිස් ක්ලබ් එකක පොඩි රස්සාවකට යැව්වා. එතකොට මට වයස අවුරුදු 10යි. හැමදාම පැය 10ක් මං එතන වැඩ කළා. ඒ නිසා මට ඉස්කෝලේ යන්න ලැබුණේ නෑ. අවුරුදු 14ක් වෙද්දී මම යකඩ වැඩපොළක මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට වැඩ කළා.
ඒ කාලේ ස්පාඤ්ඤයේ හමුදා සේවයට බැඳෙන එක අනිවාර්ය දෙයක්. 1975දී මටත් හමුදාවට බැඳෙන්න කිව්වා. පොඩි වෙනසකටත් එක්ක මං උතුරු අප්‍රිකාවේ ස්පාඤ්ඤය පාලනය යටතේ තියෙන හමුදා බළඇණියට බැඳෙන්න ඉල්ලුවා. ඒක තියෙන්නේ මෙලිල්ලා කියන නගරයේ. ඔය කාලෙදී තමයි මං අරක්කුවලටයි, කුඩුවලටයි ඇබ්බැහි වුණේ.
හමුදාවෙන් අයින් වුණාට පස්සේ මං ආයෙත් බාසිලෝනාවලට ආවා. එහෙට ඇවිත් ටික කාලයක් ගියාම කට්ටියක් එක්ක එකතු වෙලා මං කල්ලියක් හදාගත්තා. අපි අහු වෙච්ච හැම දේම හොරකම් කළා. ඒවා විකුණලා කුඩු ගැහුවා. මං LSD වගේ මත්ද්‍රව්‍ය ගන්නත් පටන්ගත්තා. ඊටපස්සේ අනාචාරයට සහ සූදුවට ඇබ්බැහි වුණා. මං ගොඩක් දරුණු කෙනෙක් වුණා. කොයි වෙලාවෙත් කිනිස්සක්, මන්නයක්, නැත්තම් පොරොවක් මං ළඟ තිබුණා. ඒවා පාවිච්චි කරන්නත් මං දෙසැරයක් හිතුවේ නෑ.
දවසක් අපි කාර් එකක් හොරකම් කරන් යද්දී පොලීසිය අපේ පස්සෙන් පැන්නුවා. අපි ඉස්සරහෙන් යනවා, පොලීසිය පිටිපස්සෙන් එනවා. ඒක හරියට ෆිල්ම් එකක් වගේ. පොලීසිය අපිට වෙඩි තියෙන කල්ම කි.මී. 30 විතර අපි මේ විදිහට ගියා. අන්තිමට අපි ගිය වාහනේ හැප්පුණා. අපි වාහනේ දාලා කොහොමහරි පැනගත්තා. තාත්තාට මේක ආරංචි වුණාම මාව ගෙදරින් එළෙව්වා.
ඊටපස්සේ අවුරුදු 5ක් විතර මට ජීවත් වෙන්න වුණේ පාරේ. මම නිදාගත්තේ දොරකඩවල්වල, ට්රක්වල, බංකු උඩ. කනත්තේ නිදාගත්ත දවසුත් තිබ්බා. ටික කාලයක් මං ගුහාවකත් ජීවත් වුණා. කිසිම තේරුමක් නැති ජීවිතයක් තමයි මං ගත කළේ. මට හිතුණේ මං ජීවත් වුණත් එකයි, මැරුණත් එකයි කියලා. කුඩු ගහලා මත් වුණාම මං මගේ ඇඟ කපාගත්තා. ඒ කැළැල් තාම තියෙනවා.
මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි
මට අවුරුදු 28ක් වෙද්දී මගේ අම්මා මාව හොයාගෙන ඇවිත් ආයෙත් ගෙදර එන්න කිව්වා. එදා මං අම්මාට පොරොන්දු වුණා මං මගේ ජීවිතේ වෙනස් කරගන්නවා කියලා. හැබැයි ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න කාලයක් ගියා.
දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවා. මං එයාලා එක්ක කතා කර කර ඉද්දී අපේ තාත්තා ගේ ඇතුළේ ඉඳන් කෑගහලා කිව්වා “ඔන්න ඔය දොර වහලා දානවා” කියලා. කවුරුවත් මට අණ දෙනවාට මං චුට්ටක්වත් කැමති නෑ. ඒ නිසා තාත්තා කියපු දේ මං ගාණකටවත් ගත්තේ නෑ. සාක්ෂිකරුවන් මට පුංචි පොත් 3ක් දුන්නා. මං එයාලගෙන් ඇහුවා එයාලගේ රැස්වීම් තියෙන්නේ කොහෙද කියලා. මට හිතුණා එයාලගේ රැස්වීමකට ගිහින් බලන්න.
ඒත් එතෙන්ට ගියාම ඇතුළට යන්න මට ලැජ්ජා හිතුණා. එතන හිටපු අය හරිම පිළිවෙලට ඇඳගෙන හිටියා. හැබැයි මං ගියපු විදිහ! කොණ්ඩේ වවලා, පිස්සෙක් වගේ රැවුල වවාගෙන, ඒ මදිවට කසිකබල් ඇඳුමුත් ඇඳලා. ඉතිං මං එළියට වෙලා හිටියා. එකපාරටම අඳුරන මූණක් දැක්කා. අපිත් එක්ක එක කල්ලියේ හිටපු හුවාන් පිළිවෙලට ඇඳලා ඉන්නවා දැක්කාම මට පුදුම හිතුණා. පස්සේ තමයි මං දැනගත්තේ අවුරුද්දකට කලින් එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා කියලා. එයාව දැක්කාට පස්සේ ඇතුළට ගිහිල්ලා රැස්වීමට ඇහුම්කන් දෙන්න මගේ හිතේ තිබ්බ බය නැති වුණා. එදා ඉඳන් තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන්ගත්තේ.
මං සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. එතකොට තමයි මට තේරුණේ දෙවියන්ව සතුටු කරන්න නම් මං ගෙවන මේ ජරා ජීවිතෙන් ඈත් වෙන්න ඕනෙ කියලා. මගේ ‘පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් හිතන්න පුරුදු වෙන්න’ ඕනෙ කියලා මං තේරුම්ගත්තා. (රෝම 12:2) ඒක හිතන තරම් ලේසි වුණේ නෑ. ඒත් දෙවියන් කොච්චර දයාවන්ත කෙනෙක්ද කියලා මං මගේ ජීවිතෙන් අද්දැක්කා. කොච්චර වැරදි කරලා තිබ්බත් ජීවිතේ මුල ඉඳන්ම පටන්ගන්න දෙවියන් ආයෙත් මට අවස්ථාව දුන්නා. දෙවියන් ගැන මං ඉගෙනගත්ත හැම පුංචි දෙයක්ම මගේ හිතට පුදුම විදිහට වැදුණා. මං ගැන සැලකිලිමත් දෙවි කෙනෙක් මේ විශ්වයේ ඉන්නවා කියලා දැනගන්න ලැබුණ එක මගේ හිතට ලොකු සහනයක්.—1 පේතෘස් 5:6, 7.
ඊටපස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් වුණා. දුම්කොළ පාවිච්චි කරන එක ගැන දෙවියන් හිතන්නේ මොකද්ද කියලා බයිබල් පාඩමේදී මං දැනගත්තා. මං මටම මෙහෙම කියාගත්තා. ‘ඇන්ටෝනියෝ මේක හරි යන් නෑ. මනසයි ශරීරයයි අපවිත්‍ර කරවන හැම දේකින්ම ඉවත් වෙලා ඉන්න නම් සිගරට් බොන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න වෙනවා.’ (2 කොරින්ති 7:1) ඊටපස්සේ ඉතිං සිගරට් ටික කෙළින්ම කුණු බක්කියේ!
ඒ විතරක් නෙමෙයි කුඩු ගහන එකයි කුඩු විකුණන එකයි නවත්වන්නත් මං තීරණය කළා. හැබැයි ඒක ලේසි වුණේ නෑ. ඒක කරන්න නම් මං ආශ්‍රය කරපු අයගෙනුත් අයින් වෙන්න ඕනෙ කියලා මට තේරුණා. මොකද ඒගොල්ලොත් එක්ක හිටියොත් කවදාවත් මට දෙවියන්ට ළං වෙන්න බැහැ. කාලයත් එක්කම දෙවියන් ගැන මගේ හිතේ තිබ්බ විශ්වාසය තවත් වැඩි වුණා. සභාවේ අයටත් මං කිට්ටු වුණා. එයාලගෙන් ලැබුණ ආදරය, සැලකිල්ල කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ජීවිතේ පළවෙනි සැරේටයි මං ඒ වගේ ආදරයක් සැලකිල්ලක් අද්දැක්කේ. ඔහොම මාස ගාණක් ගෙවුණාට පස්සේ මත්ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා දෙවියන් සතුටු වෙන විදිහේ අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගන්න මට පුළුවන් වුණා. (එෆීස 4:24) 1985 අගෝස්තුවල මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.
දැන් මං අද්දකින ආශීර්වාද
බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා මගේ ජීවිතේ කොච්චර වෙනස් වෙලාද! මගේ ශරීරය, මගේ ආත්මගරුත්වය විනාශ කරලා දාපු පුරුදු අත්හරින්න ඒකෙන් මට ලොකු හයියක් ලැබුණා. මත්ද්‍රව්‍ය හින්දා මගේ කලින් යාළුවෝ 30දෙනෙක් විතර අකාලේ මැරුණා. ඒත් බයිබලේ තියෙන දේවල් ඉගෙනගත්ත නිසා මගේ ජීවිතේ බේරුණා.
ආයුධ වෙනුවට දැන් මගේ අතේ තියෙන්නේ බයිබලයක්. තරුණ කාලේ කරපු දරුණු දේවල් අතහැරලා අද මං මිනිසුන්ට බයිබලේ ගැන උගන්නනවා. මමයි, මගේ නෝනායි දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන්න අපේ මුළු කාලයම වැය කරලා ලොකු සතුටක් ලබනවා.
මගේ අම්මායි, තාත්තායි කවදාවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණේ නැහැ. හැබැයි බයිබලෙන් ඉගෙනගත්ත දේවල් නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කියලා ඒගොල්ලෝ දැක්කා. ඒ නිසා සාක්ෂිකරුවන් ගැන එයාලගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා. එක දවසක් තාත්තාගේ යාළුවෝ සාක්ෂිකරුවන් ගැන වැරදි කියද්දී තාත්තා සාක්ෂිකරුවන්ගේ පැත්තට කතා කළා මට මතකයි. මගේ අම්මාත් හැම තිස්සෙම කිව්වේ “අපරාදේ ඔයාට මීට කලිනුයි බයිබලේ ඉගෙනගන්න තිබ්බේ” කියලා. ඒක නම් සහතික ඇත්ත!
කෙනෙක් මත්ද්‍රව්‍ය අරන්, දුරාචාරයේ යෙදිලා ජීවිතේ සතුට හොයන එක කොච්චර මෝඩකමක්ද කියලා මං මගේ ජීවිතෙන් අද්දැක්කා. නියම සතුට ලැබෙන්නේ යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න එකෙන් විතරයි. ඒකේ කතා දෙකක් නැහැ. අද මම ජීවිතේ මෙච්චර සතුටින් ඉන්නේ යෙහෝවා දෙවියන් මට උගන්නපු දේවල් නිසයි.