Skip to content

අපි භාවිත කරන යෙදුම්වල තේරුම

අපි භාවිත කරන යෙදුම්වල තේරුම

මේ කොටස සකස් කරලා තියෙන්නේ මාධ්‍යය වෙනුවෙන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන වාර්තා කරද්දී නිවැරදි තොරතුරු වාර්තා කරන්න මෙය උපකාරවත් වෙයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිබඳ පුවත් වාර්තා කරන්න උනන්දු වෙනවාට ස්තුතියි. අපි පාවිච්චි කරන යෙදුම් සහ ඒවා නිවැරදිව යොදාගන්න විදිහ ගැන අවබෝධයක් ලබාගන්න පහත ලැයිස්තුව උදව් වෙයි. මෙතන නැති යෙදුමක් ගැන ඔයාට දැනගන්න ඕනෙ නම් ඔයාගේ රටේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය කන්ටැක් කරන්න.

සමුළුව.  චාරිකා සමුළුව යටතේ බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාව. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අයිති විශාල නමස්කාර මධ්‍යස්ථානයක්. නියමිත ප්‍රදේශයක් තුළ තියෙන සභා කිහිපයක් වසරකට කිහිප වතාවක් මෙතන රැස් වෙනවා. “සමුළු ශාලාව” කියලත් හඳුන්වනවා.

පිබිදෙව්! යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කර බෙදාහරින සඟරාවක්. 1919දී “ද ගෝල්ඩන් ඒජ්” සහ 1937දී “කොන්සලේෂන්” ලෙසත් 1946 අගෝස්තු 22 කලාපය ඉඳලා “එවේක්!” (1981 සිට සිංහල භාෂාවෙන් ‘පිබිදෙව්!’) ලෙසත් නම වෙනස් වුණා. “පිබිදෙව්!” කියන නම තෝරගත්තේ වත්මන් සිදුවීම් බයිබල් අනාවැකි ඉටු කරන ආකාරයට අවධානය යොමු කිරීමටයි.

බෙතෙල්, බෙතෙල් සේවකයන්/ බෙතෙල් සාමාජිකයන්, බෙතෙල් පවුල. “බෙතෙල්” කියන්නේ හෙබ්‍රෙව් වචනයක්. ඒකේ තේරුම “දෙවියන්ගේ ගෘහය” කියන එකයි. රටකට හෝ රටවල් කිහිපයකට එකක් බැගින් ඒ නමින් කාර්යාල වගේම නවාතැන් සංකීර්ණ තියෙනවා. එතනින් තමයි ඒ රටේ හෝ රටවල් කිහිපයක ශුභාරංචිය දේශනා කිරීමේ වැඩකටයුතු බලාගන්නේ. එතන වැඩ කරන සාක්ෂිකරුවන්ව හඳුන්වන්නේ “බෙතෙල් සේවකයන් / බෙතෙල් සාමාජිකයන්” ලෙසයි. හැම බෙතෙල් එකකම සේවය කරන අය හරියට එක පවුලක් වගේ. එයාලා නැවතිලා ඉන්නේ, වැඩ කරන්නේ, කෑම ගන්නේ සහ නමස්කාරයේ යෙදෙන්නේ එකට නිසා ඒ අයට “බෙතෙල් පවුල” කියලා කියනවා. “බෙතෙල් සේවකයන් / බෙතෙල් සාමාජිකයන්” කියන යෙදුම කෙනෙක්ව උසස් කරන්න පාවිච්චි කරන පදවි නමක් නෙවෙයි.

ශාඛා කමිටුව. හැම ශාඛා කාර්යාලයකම ශාඛා කමිටුවක් තියෙනවා. ඒ කමිටුව හැදිලා තියෙන්නේ වැඩිමහල්ලන් තුන්දෙනෙක්ගෙන් නැත්නම් ඊට වැඩි ගණනකින්. ශාඛා කාර්යාලයේ අධීක්ෂණය යටතේ තියෙන රටේ හෝ රටවල් කිහිපයේ වැඩකටයුතු මෙම කමිටුව මගින් බලා කියා ගන්නවා.

ශාඛා කාර්යාලය. රටක හෝ රටවල් කිහිපයක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට සහය දීමට සහ අධීක්ෂණය කිරීමට ශාඛා කමිටුව පාවිච්චි කරන කාර්යාලය.

සහෝදරයා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණ පුරුෂයෙක්. බව්තීස්ම වුණ කාන්තාවන්ව අමතද්දී සහෝදරි කියලා කියනවා. (උදා- සහෝදර සුනිල් / සහෝදරි කාන්ති.) මෙය කෙනෙක්ව උසස් කිරීමට පාවිච්චි කරන පදවි නමක් නෙවෙයි.

සහෝදරත්වය. ලොව පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියලුදෙනාවම හැඳින්වීමට මේ යෙදුම පාවිච්චි කරනවා (මෙයට ස්ත්‍රී පුරුෂ දේපාර්ශ්වයම අයත්).—1 පේතෘස් 5:9.

චාරිකාව. නිශ්චිත ප්‍රදේශයක තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා කිහිපයක එකතුවක්.

 චාරිකා සමුළුව. වසරකට දෙවරක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා කිහිපයක් එකතු කරලා පවත්වන එක්දින රැස්වීමක්. ඒ රැස්වීමට ඕනෙම කෙනෙක්ට එන්න පුළුවන්. ඒ සමුළු සැලසුම් කරලා තියෙන්නේ දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන විදිහටයි. ඒ සමුළුවලදී බයිබලයේ තියෙන උපදෙස් ඕනෙම වයසක ඉන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන විදිහ පැහැදිලි කරනවා. ඒ උපදෙස් එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්න පුළුවන් විදිහ කෙටියෙන් නිරූපණය කරනවා. සාමාන්‍යයෙන් ඒවා පවත්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාවල. ඔන්ලයින් ක්‍රමයටත් මේ වැඩසටහන බලන්න පුළුවන්. හුඟක් වෙලාවට සති අන්තවල තමයි මේවා පවත්වන්නේ. කිසිම දේකට මුදල් අය කරන්නේ නැහැ.

චාරිකා සේවක. ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම අනුව වැඩ කරන අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක්ව චාරිකා සේවකයෙක් විදිහට පත් කරනවා. චාරිකා සේවක, (විවාහක නම් බිරිඳ එක්ක) එයාට පවරලා තියෙන චාරිකාවට අයිති හැම සභාවකටම අවුරුද්දකට දෙවතාවක් යනවා. චාරිකා සේවක සභාවකට ආවාම, සභාවේ එක් එක් සහෝදරයාව දිරිගන්වනවා. ඊට අමතරව එයා වැඩිමහල්ලන් එක්කත් සහායක සේවකයන් එක්කත් රැස් වෙලා එයාලට අවශ්‍ය මඟ පෙන්වීම් සහ දිරිගැන්වීම් ලබා දෙනවා. චාරිකා සේවක හැම සභාවකටම විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. “චාරිකා සේවක” කියන යෙදුම කෙනෙක්ව උසස් කිරීමට පාවිච්චි කරන පදවි නමක් නෙවෙයි.

සභාව. නමස්කාර කරන්න හොඳින් සංවිධානය වෙලා නිතිපතා එකට රැස් වෙන සාක්ෂිකරුවන් කණ්ඩායමක්. බයිබලය මත පදනම් වැඩසටහන් මෙහෙයවන වගකීම සභාවේ වැඩිමහල් මණ්ඩලයට භාර දීලා තියෙනවා. ඒ අය සභාවේ ඉන්න අයට දෙවියන් එක්ක තියෙන බැඳීම රැකගන්න කණ්ඩායමක් හැටියටත් පෞද්ගලික මට්ටමෙනුත් මඟ පෙන්වීම් ලබා දෙනවා. ඕනෙම කෙනෙක්ට ඒ රැස්වීම්වලට සහභාගි වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් කිසිම අය කිරීමක් කරන්නේවත් මුදල් එකතු කිරීමක් කරන්නේවත් නැහැ.

සමුළුව.  ජාත්‍යන්තර හා  තුන්දින සමුළු යටතේ බලන්න.

වැඩිමහල්ලා. සභාවේ සභාවේ අයට උගන්වන්න, දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන්න සහ එයාලව රැක බලා ගන්න පත් කරලා තියෙන දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙන පුරුෂයෙක්. බයිබලයේ 1 තිමෝති 3:1-7; තීතස් 1:5-9; යාකොබ් 3:17, 18 සහ 1 පේතෘස් 5:2 සඳහන් වෙන සුදුසුකම් දිගටම රැකගන්න වැඩිමහල්ලන් වෑයම් කරන්න ඕනේ. ඒ අය සභාව වෙනුවෙන් කරන සේවයට එයාලට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. එයාලාගේ පෞද්ගලික වියදම් සහ පවුලේ අයගේ අවශ්යතා පියවන්න එයාලා රැකියාවල නියැලෙනවා. සාක්ෂිකරුවන් අතරේ පූජකයන් නැහැ. එයාලා අතරේ ගිහි-පැවිදි භේදයක් නැහැ. “වැඩිමහල්ලෙක්” කියන යෙදුම කෙනෙක්ව උසස් කරන්න පාවිච්චි කරන පදවි නමක් නෙවෙයි.

 ක්ෂේත්‍ර සේවය. සාක්ෂිකරුවන් කරන දේශනා සේවය. එයාලා ඒ සේවය කරන්නේ “සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම” සිටින මිනිසුන්ට ‘රාජ්යය පිළිබඳ ශුභාරංචිය’ කියන්න කියලා යේසුස් දීපු අණට කීකරු වෙන නිසයි.—මතෙව් 24:14; 28:19.

ගිලියද්, ගිලියද් පාසැල. 1943දී ආරම්භ කරපු මේ පාසැල ගිලියද් මුරටැඹ බයිබල් පාසැල විදිහටත් හඳුන්වනවා. එය ආරම්භ කළේ මිෂනාරිවරුන්ව පුහුණු කිරීමටයි. දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරින් තෝරාගත් අය සඳහා මාස පහක විශේෂිත බයිබල් පාඩම් පාඨමාලාවක් ලෙස පවත්වනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය. ලොව පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසය ශක්තිමත් කරන්න පත් කරලා තියෙන වැඩිමහල්ලන් කිහිපදෙනෙක්ගෙන් හැදුණු කණ්ඩායමක්. බයිබලය මත පදනම් ප්‍රකාශන සකස් කරන්න එයාලා කෙළින්ම සම්බන්ධ වෙනවා. පාලක මණ්ඩලය ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කරන කාර්යය පෙරමුණ අරන් කළත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නායකයා විදිහට එයාලා සලකන්නේ යේසුස්ව. පාලක මණ්ඩලයේ කාර්යාල තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය තියෙන එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි වෝර්වික්වල.

 ජාත්‍යන්තර සමුළු. වසර කීපයකට වරක්, තෝරාගනු ලබන රටවල්වල, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන දවස් තුනක රැස්වීමක්. මේ සමුළුවලට වෙනත් රටවල ඉන්න සාක්ෂිකරුවන්ටත් ආරාධනා කරනවා. මේ සමුළු මූලිකවම සකස් කරලා තියෙන්නේ දෙවියන් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න දිරිගන්වන්න සහ සාක්ෂිකරුවන් අතරේ තියෙන එකමුතුකම තවත් වැඩි කරන අරමුණ ඇතුවයි. හුඟක් වෙලාවට කුලියට ගත්ත ස්ථානයක පවත්වන මේ ජාත්යන්තර සමුළු සැලසුම් කරන්නේ සිකුරාදා සිට ඉරිදා දක්වා දිනයන්වලදීයි. කැමති ඕනෙම කෙනෙක්ට මේ සමුළුවලට සහභාගි වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ.

යෙහෝවා. බයිබලයේ සඳහන් විදිහට සියලු බලය ඇති, හැම දෙයක්ම නිර්මාණය කරපු දෙවියන්ගේ පෞද්ගලික නම. (ගීතාවලිය 83:18) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ගැන කියද්දී “යෙහෝවා” කියන නම ආදේශකයක් විදිහට (උදාහරණෙකට “යෙහෝවා කෙනෙක්”) යොදාගන්නේ නැහැ.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමක්. ඒ අය නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට. එයාලා බයිබලේ තියෙන තොරතුරු ගොඩක් උනන්දුවෙන් විවිධ ආකාරවලින් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. දෙවියන්ගේ රාජ්‍යය නැත්නම් ආණ්ඩුව ගැන තියෙන ශුභාරංචිය අනිත් අයට දැනුම් දෙන්න ඕනෙ නිසයි එයාලා එහෙම කරන්නේ (මතෙව් 24:14) ඒ නමින්, එයාලා නමස්කාර කරන දෙවියන්ව වගේම එයාලා දෙවියන්ගේ නම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කරන වැඩත් නියෝජනය කරනවා. කෙනෙක් සාක්ෂිකරුවෙක් වීමට කලින් එයාට බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. සාක්ෂිකරුවන්ගේ සභාවක් එක්ක එකතු වෙලා සේවයේ හවුල් වෙන්න සුදුසුකම් ලබාගන්න ඕනේ. ඒ වගේම එයාගේම කැමැත්තෙන් එයා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න ඕනේ. පුවත්පත් ලිපියක මුල් වතාවට සාක්ෂිකරුවන් ගැන සඳහන් කරද්දී “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” යන සම්පූර්ණ නම යොදන්න. “සාක්ෂිකරුවන්” විදිහට සඳහන් කරන්නත් පුළුවන්. එක් කෙනෙක් ගැන සඳහන් කරද්දී “සාක්ෂිකරුවෙක්” හෝ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්” පාවිච්චි කරන්න පුළුවන්. “යෙහෝවා කෙනෙක්” කියලා කියන්නේ නැහැ.—යෙසායා 43:10.

යේසුස් ක්‍රිස්තුස්. දෙවියන්ගේ කලුඳුල් පුත්‍රයා. (යොහන් 3:16) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලාගේ නායකයා විදිහට සලකන්නේ යේසුස්ව. ඔහුව අනුකරණය කරන්නත් ඔහුගේ ඉගැන්වීම් අනුව ජීවත් වෙන්නත් එයාලා උපරිමය කරනවා. මෙතෙක් ජීවත් වුණු ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා සහ දෙවියන් ගැන සාක්ෂි දරපු ප්‍රධාන කෙනා විදිහටත් මිනිසුන්ව ගලවාගැනීමට යෙහෝවා දෙවියන් පාවිච්චි කරන ප්‍රධාන තැනැත්තා විදිහටත් සාක්ෂිකරුවන් යේසුස්ව සලකනවා.—යෙසායා 9:6, 7; එළිදරව් 1:5.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානය. යම් ප්‍රදේශයක සභාවක් හරි සභා කිහිපයක් හරි නමස්කාරය සඳහා රැස් වෙන මධ්‍යස්ථානය. “පල්ලිය” කියන යෙදුම පාවිච්චි කරන්න එපා.

යේසුස්ගේ මරණය සිහි කිරීම. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය නැත්නම් රාත්‍රී භෝජනය කියලත් හඳුන්වන ඒ සිහි කිරීම පවත්වන්නේ වාර්ෂිකව. යේසුස් තමන්ගේ ගෝලයන්ට පවත්වන්න කියලා කියපු එකම සැමරීම එයයි. මෙය සාක්ෂිකරුවන් සලකන්නේ වසරේ වැදගත්ම සැමරීම හැටියටයි.—ලූක් 22:19, 20.

සති මැද රැස්වීම. සතියේ දිනයක හුඟක් වෙලාවට සවස්වරුවක පැවැත්වීමට සැලසුම් කරලා තියෙන සභා රැස්වීමක්. මෙය අපගේ ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය කියන තේමාව යටතේ කොටස් තුනකින් සමන්විත වැඩසටහනක්. ඒ රැස්වීම සකස් කරලා තියෙන්නේ සාක්ෂිකරුවන්ට දේවසේවය වඩා හොඳින් කිරීමට උදව් කිරීමටයි. මේ රැස්වීම පවත්වන තැනට ඇවිත් සහභාගි වුණත් ඔන්ලයින් ක්‍රමයට සහභාගි වුණත් ඒකට මුදල් අය කරන්නේවත් සම්මාදම් එකතු කරන්නේවත් නැහැ.

සහායක සේවකයා. වැඩිමහල්ලන්ට සහය දෙන්න පත් කරලා තියෙන අවබෝධයෙන් වැඩ කරන සාක්ෂිකාර පුරුෂයෙක්. සහායක සේවකයෙක් වීමට 1 තිමෝති 3:8-10, 12, 13 සහ තීතස් 2:2, 6-8හි ලැයිස්තුගත කරලා තියෙන ශුද්ධ ලියවිලිමය සුදුසුකම් කෙනෙක්ට තියෙන්න ඕනේ. සහායක සේවකයන් සභාවේ වැඩකටයුතු පිළිවෙළකට කරන්න සහයෝගය දෙනවා. එයාලා කරන සේවයට ගෙවීමක් කරන්නේ නැහැ. එයාලා සභාව වෙනුවෙන් හරි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය වෙනුවෙන් හරි කරන සේවය රැකියාවක් නෙවෙයි. සහායක සේවකයන් හුඟදෙනෙක් තමන්ගේ සහ පවුලේ අයගේ නඩත්තුව සඳහා රැකියාවල යෙදෙනවා. කාලයත් එක්කම ඒ අය වැඩිමහල්ලන් සඳහා බයිබලයේ දීලා තියෙන සුදුසුකම් ලබාගෙන තිබුණොත් ඒ අයව වැඩිමහල්ලන් විදිහට පත් කරනවා. ”‏සහායක සේවකයා”‏ කියන යෙදුම කෙනෙක්ව උසස් කරන්න පාවිච්චි කරන පදවි නමක් නෙවෙයි.

ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින්ම පරිවර්තනය කරලා ප්‍රකාශයට පත් කරන හෙබ්‍රෙව් (පැරණි ගිවිසුම) සහ ග්‍රීක (අලුත් ගිවිසුම) ලියවිලිවලින් සමන්විත බයිබලයේ සම්පූර්ණ නම. ඒක නව ලොව පරිවර්තනය කියලත් හඳුන්වන්න පුළුවන්.

පුරෝගාමියා. හැම මාසේකම නිශ්චිත පැය ගාණක් දේවසේවයේ හවුල් වෙන කෙනෙක්ව හඳුන්වන්න කියන නම. අවුරුද්දකට පැය 600ක් (මාසයකට පැය 50ක්) දේවසේවයේ හවුල් වෙන අයව හඳුන්වන්න පාවිච්චි කරන ”‏ස්ථාවර පුරෝගාමියා”‏ කියන යෙදුමට කෙටි යෙදුමක් විදිහටත් හුඟක් වෙලාවට ඒක පාවිච්චි වෙනවා. සමහර අවස්ථාවලදී “සහායක පුරෝගාමි” සේවය කරන අයව හඳුන්වන කෙටි යෙදුමක් විදිහටත් ඒක පාවිච්චි වෙනවා. සහායක පුරෝගාමියෙක් මාසයක් නැත්නම් අඛණ්ඩව මාස කිහිපයක් පැය 15ක් නැත්නම් 30ක් දේවසේවය වෙනුවෙන් කැප කරනවා. පුරෝගාමී සේවය කරන අයට ඒ වෙනුවෙන් කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය වෙනුවෙන් නැත්නම් සභාව වෙනුවෙන් කරන සේවය රැකියාවක් නෙවෙයි. පුරෝගාමීන් හුඟදෙනෙක් එයාලගේ අවශ්යතා පිරිමහගන්න රැකියාවන් කරනවා. ”‏පුරෝගාමියා”‏ කියන යෙදුම කෙනෙක්ව උසස් කරන්න පාවිච්චි කරන පදවි නමක් නෙවෙයි.

දේශනා සේවය.  ක්ෂේත්‍ර සේවය කියන යෙදුම බලන්න.

ප්‍රසිද්ධ රැස්වීම. සතිපතා පවත්වන සභා රැස්වීමක්. සාමාන්‍යයෙන් සති අන්තයේ පවත්වන රැස්වීමට ඕනෙම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන්. ඒකට විනාඩි 30ක බයිබලය මත පදනම් දේශනයක් සහ බයිබලය මත පදනම්ව සකස් කරලා තියෙන ‘මුරටැඹ’ පාඩම් කලාපයේ ලිපියක් යොදාගෙන කරන පැයක ප්රශ්නෝත්තර සාකච්ඡාවක් ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන මේ රැස්වීම්වලටත් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. සම්මාදම් එකතු කරන්නෙත් නැහැ.

ප්‍රචාරකයා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් එක්ක එකතු වෙලා දේවසේවයේ හවුල් වෙන කෙනෙක්. ප්රචාරකයෙක් වෙන්න කැමති කෙනෙක් මුලින්ම බයිබලයේ සඳහන් වෙන මූලික ඉගැන්වීම් ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ, ඒ ගැන විශ්වාසයක් ගොඩනඟාගන්න ඕනේ, ඒ වගේම බයිබලයේ තියෙන ප්රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නත් ඕනේ. ප්රචාරකයන්ට දේවසේවයේ හවුල් වෙන එක වෙනුවෙන්වත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය වෙනුවෙන් හරි සභාව වෙනුවෙන් හරි කරන සේවය වෙනුවෙන්වත් කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. ප්රචාරකයා කියන යෙදුම කෙනෙක්ව උසස් කරන්න පාවිච්චි කරන පදවි නමක් නෙවෙයි.

 තුන්දින සමුළුව. වාර්ෂිකව පවත්වන මේ තුන්දින සමුළු සකස් කරලා තියෙන්නේ දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන අරමුණින්. නිශ්චිත ප්රදේශයක තියෙන සභා කීපයක් මේ සමුළුවලට සහභාගි වෙනවා. ඊට අමතරව කැමති ඕනෙම කෙනෙක්ට ඒ සමුළුවලට සහභාගි වෙන්න පුළුවන්. ඕනෙම වයසක ඉන්න කෙනෙක්ට බයිබලයේ උපදෙස්වලින් ප්රයෝජන ගන්න උදව් වෙන යෝජනා ඒ සමුළුවලින් දැනගන්න පුළුවන්. ඒ වගේම බයිබල් ප්රතිපත්ති අදාළ කරගන්න පුළුවන් විදිහ තේරුම්ගන්න උදව් වෙන නිරූපණත් ඒවාට ඇතුළත්. ඒ නිරූපණ සකස් කරලා තියෙන්නේ බයිබල් සිද්ධීන් සහ එදිනෙදා ජීවිතේ සිද්ධීන් යොදාගෙන. හුඟක් වෙලාවට මේ සමුළු පවත්වන්නේ ක්රීඩාංගණ, සම්මන්ත්රණ ශාලා වගේ කුලියට ගත්ත තැන්වල. පොඩි පිරිසක් සහභාගි වෙන සමුළු ළඟම තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාවලත් පවත්වන්න පුළුවන්. සාමාන්යයෙන් මේ සමුළු පවත්වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් තුනේදියි. මෑතක ඉඳන් රෙකෝඩ් කරපු මේ සමුළු වැඩසටහන් අන්තර්ජාලය හරහා බලන්නත් අවස්ථාව දීලා තියෙනවා. සාක්ෂිකරුවන් පවත්වන මේ රැස්වීම්වලටත් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. සම්මාදම් එකතු කිරීමක් කරන්නෙත් නැහැ.

සහෝදරිය. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණ කාන්තාවක්. (උදා: සහෝදරී පෙරේරා). ඒ යෙදුම කෙනෙක්ව උසස් කරන්න පාවිච්චි කරන පදවි නමක් නෙවෙයි. සාක්ෂිකාර පුරුෂයෙක්ව අමතද්දී මේ යෙදුමේ විරුද්ධ පදය පාවිච්චි කරනවා. (උදා: සහෝදර පෙරේරා).

‘මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි.’ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්රකාශයට පත් කරලා බෙදාහරින ප්රධානම සඟරාවේ සම්පූර්ණ නම. ඒක ‘මුරටැඹ’ කියලත් හඳුන්වනවා. ඒ නම හැදිලා තියෙන්නේ දෙවියන්ගේ අරමුණු ඉටු වෙන විදිහ ගැන සෝදිසියෙන් ඉන්න කියන අදහසින්. (මතෙව් 24:42) ‘මුරටැඹ’ සඟරාවේ පොදු කලාපය කියවන්න කැමති ඕනෙම කෙනෙක්ට නොමිලේ ලබා දෙනවා. ‘මුරටැඹ’ සඟරාවේ පාඩම් කලාපය පාවිච්චි කරන්නේ ලෝකේ පුරාම තියෙන සභාවල සතිපතා පවත්වන ප්රශ්නෝත්තර සාකච්ඡාවන්වලදියි. 1879 ඉඳන් ‘මුරටැඹ’ සඟරාව දිගටම ප්රකාශයට පත් වෙනවා. ඒක ලෝකේ පුරාම වැඩියෙන්ම ප්රකාශයට පත් වෙන සඟරා අතරින් එකක්

සටහන: සාක්ෂිකරුවන් ගැන වාර්තා කරද්දී එයාලා ගැන සඳහන් කරන මුල්ම අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන සම්පූර්ණ නම භාවිත කරන්න.  යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යටතේ බලන්න.