ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | යෝබ්
යෙහෝවා දෙවියන් යෝබ්ව සැනසුවා
මොහොතකට කලින් උණුසුම් විවාදයක් පැවතුණත් දැන් හැමෝම නිහඬ වෙලා. ඒ නිහැඬියාව බිඳ හෙළමින් ඇහෙන්නේ අරාබි කාන්තාරයෙන් හමා එන සුළඟේ හඬ විතරයි. තමන්ව සනසන්න හිතාගෙන ආපු අය එක්ක වාද කරලා යෝබ් හොඳටම හෙම්බත් වෙලයි ඉන්නේ. යෝබ්ට කියන්න තවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. එලිෆස්, බිල්දද් සහ ෂෝපර් දිහා කේන්තියෙන් බලන් ඉන්න යෝබ්ව හිතින් මවාගන්න පුළුවන්ද? යෝබ් ඒ අය දිහා බලන් ඉන්නේ හරියට තවත් මොනවා හරි කියන්න තියෙනවා නම් කියන්න කියලා ඔවුන්ට අභියෝග කරනවා වගෙයි. ඒත් ඔවුන් යෝබ්ගේ මුහුණ දිහාවත් බලන්නේ නැතුව බිම බලාගෙන ඉන්නවා. මොකද ඔවුන් කොයි තරම් දක්ෂ විදිහට තර්ක කළත්, හිත රිද්දන දේවල් කිව්වත් ඔවුන් කියපු හැම දෙයක්ම “කිසි කමකට නැති” බොරු කතා විදිහට යෝබ් එකහෙළාම ප්‍රතික්ෂේප කරලයි තිබුණේ. (යෝබ් 16:3) දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න තමන් ගත්ත අධිෂ්ඨානය යෝබ් බොඳ කරගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගත්තා.
යෝබ් සතුව තිබුණු හැම දෙයක්ම ඒ කියන්නේ ඔහු සතුව තිබුණු වස්තුව, ඔහුගේ දරුවන් දහදෙනා, යාළුවන්ගෙනුත් අසල්වැසියන්ගෙනුත් ඔහුට ලැබුණු සහයෝගය සහ ගෞරවය වගේ හැම දේම යෝබ්ට අහිමි වෙලයි තිබුණේ. ඒ විතරක් නෙවෙයි හැදුණු කුෂ්ඨය නිසා ඔහුගේ හම කලු වුණා. ඇඟ පුරාම වණ හැදුණා. ඇඟ වැහෙන තරමටම පණුවෝ වැහුවා. කටින් ලොකු දුඟදක් පිට වුණා. (යෝබ් 7:5; 19:17; 30:30) හැබැයි ඒ මොන දේ වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අරන් තිබුණු අධිෂ්ඨානය යෝබ් දුර්වල කරගත්තේ නැහැ. ඒත් ඔහු ඉන්නේ ලොකු කේන්තියකින්. ඔහුව සනසන්න කියලා ආපු තුන්දෙනා ඔහු දුෂ්ටයෙක් කියලා චෝදනා කරලා තිබුණා. හැබැයි ඒක ඇත්තක් නෙවෙයි කියලා ඔප්පු කරන්න තමන්ට පුළුවන් හැම දේම යෝබ් කළා. ඒ අය යෝබ්ගේ හිත රිදෙන දේවල් ඇති තරම් කිව්වත් යෝබ් අන්තිමට කියපු දේවල් නිසා ඔවුන්ගේ කටවල් නිකම්ම වැහුණා. හැබැයි යෝබ්ගේ ගතටත් සිතටත් දැනුණු වේදනාව නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඒකෙන් ගොඩ එන්න යෝබ්ට කාගේ හරි උපකාරයක් ඕන වුණා.
තමන් මුහුණ දෙන තත්වය ගැන හරි විදිහට හිතන්න යෝබ්ට බැරි වුණේ ඇයි කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. මේ වෙලාවේ ඔහුට මඟ පෙන්වීම් ඕන වුණා. ඔහු හිතන විදිහ නිවැරදි කරන්නත් උපකාරයක් ඕන වුණා. ඒ වගේම ඔහුව හොඳින් තේරුම් අරන් ඔහුව සනසන්න, දිරිගන්වන්න පුළුවන් කෙනෙක්ගේ උදව්වත් යෝබ්ට ඕන වුණා. හරි නම් ඔහුව සනසන්න කියලා ආපු තුන්දෙනා කරන්න තිබුණේ ඒ දේවල් තමයි. ඒත් ඔවුන් කටයුතු කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. ඔයාත් ඒ වගේ දෙයක් අද්දැකලා තියෙනවාද? ඔයාට දිරිගැන්වීමක්, මඟ පෙන්වීමක් ඕනම කරපු වෙලාවක ඔයා යාළුවන් කියලා හිතාගෙන හිටිය අයගෙන් ඒ උදව්ව ලැබුණේ නැහැ කියලා ඔයාට හිතිලා තියෙනවාද? එහෙනම් යෙහෝවා දෙවියන් යෝබ්ට උදව් කරපු විදිහ ගැනත් ඒකට යෝබ් ප්‍රතිචාරය දක්වපු විදිහ ගැනත් දැනගන්න එක, බලාපොරොත්තුවක් ඇතුව සතුටින් දේවල් දරාගන්න ඔයාට උදව්වක් වෙයි.
ඥානවන්ත වගේම කරුණාවන්ත උපදේශකයෙක්
යෝබ්ගේ කතාවේ ඊළඟට සිද්ධ වුණේ අපි හිතුවේවත් නැති දෙයක්. යෝබ් සහ ඔහුව සනසන්න ඇවිත් හිටිය මිනිසුන් තුන්දෙනා වාද කරද්දී මුල ඉඳන් හැම දෙයක්ම නිහඬව අහන් හිටිය කෙනෙක් එතැන ඉඳලා තිබුණා. ඒ තමයි එතන හිටිය හැමෝටම වඩා වයසින් අඩු කෙනෙක් වුණු එලිහු. ඔවුන් කතා වුණු දේවල් ඇහෙද්දී එලිහුට ලොකු කේන්තියක් දැනුණා.
එලිහුට යෝබ් ගැන සතුටු හිතුණෙත් නැහැ. මොකද එතන හිටිය අය කියපු දේවල් නිසා “යෝබ් දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා වෙනුවට තමාගේ ධර්මිෂ්ඨකම” ඔප්පු කරන්න වෑයම් කළා. ඒත් යෝබ් ගැන එලිහුට ලොකු අනුකම්පාවක් දැනුණා. යෝබ් මොන තරම් අවංක කෙනෙක්ද කියලත් ඔහුට මේ වෙලාවේ සහනයක්, දිරිගැන්වීමක් වගේම නිවැරදි කිරීමක් ඕනෙ කියලත් එලිහු තේරුම්ගත්තා. යෝබ්ව සනසන්න ඇවිත් හිටිය බොරු සැනසිලිකාරයන් ගැන එලිහුට ලොකු කේන්තියක් දැනුණු එක පුදුමයක් නෙවෙයි. මොකද යෝබ්ට කිසිම ගෞරවයක් පෙන්වන්නේ නැතුව කතා කරපු ඒ අය යෝබ්ගේ හිතට මොන තරම් වේදනාවක් දුන්නාද කියලත් යෝබ්ට දෙවියන් ගැන තිබුණු විශ්වාසය වගේම දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න යෝබ් අරන් තිබුණු අධිෂ්ඨානය නැති කරන්න ඔවුන් කොයි තරම් වෑයම් කළාද කියලත් එලිහු හොඳින්ම දැක්කා. ඒ විතරක් නෙවෙයි ඔවුන් කියපු දේවලින් දෙවියන් දුෂ්ට කෙනෙක් කියලත් ඔවුන් ඇඟෙව්වා. ඒ හැම දෙයක්ම අහන් හිටිය එලිහුට තවත් නම් නිහඬව ඉන්න පුළුවන් වුණේ නැහැ.—යෝබ් 32:2-4, 18.
එලිහු මෙහෙම කිව්වා. “මා වයසින් බාලය. ඔබ සියලුදෙනා මට වඩා වැඩිමල්ය. මා දන්නා දේ ඔබ සමඟ කතා කිරීමට තරම් එඩිතර නොවුණේ ඒ නිසාය.” හැබැයි ඔහු ඊළඟට මෙහෙමත් කිව්වා. “යමෙකු වයසින් මුහුකුරා ගිය පමණින් ඔහු ප්‍රඥාවන්තයෙකු වන්නේ නැත. නිවැරදි විනිශ්චයක් කිරීමට හැකියාව තිබෙන්නේ මහල්ලන්ට පමණක් නොවෙයි.” (යෝබ් 32:6, 9) ඒක කොයි තරම් සැබෑවක්ද කියලා එලිහු ඊළඟට කියපු දේවලින් ඔප්පු වුණා. එලිෆස්, බිල්දද් සහ ෂෝපර් යෝබ්ට කතා කරපු විදිහට වඩා හාත්පසින්ම වෙනස් විදිහටයි එලිහු යෝබ්ට කතා කළේ. ඔහු යෝබ්ව පහත් කරලා කතා කළේවත් යෝබ්ගේ හිතේ තිබුණු වේදනාව තවත් වැඩි වෙන විදිහට කතා කළේවත් නැහැ. යෝබ්ව සනසන්න ආපු අය ඔහුට ගරු කළේ නැහැ කියලා එලිහු පිළිගත්ත එකෙනුත් යෝබ්ගේ නමින්ම කතා කරපු එකෙනුත් පෙන්නුවා ඇත්තටම ඔහු යෝබ්ට ගරු කරනවා කියලා. * යෝබ්ට නිසි ගෞරවය දෙමින් එලිහු කතාව පටන්ගත්තේ මෙහෙමයි. “යෝබ්, දැන් මම කියන දේට ඇහුම්කන් දෙන මෙන් ඉල්ලමි.”—යෝබ් 33:1, 7; 34:7.
එලිහු යෝබ්ට ඕන කරන උපදෙස් කෙළින්ම ලබා දෙමින් මෙහෙම කිව්වා. ‘ඔබ කියූ දේ මට ඇසුණේය. ඔබ නැවත නැවත මෙසේ කීවෙහිය. “මා නිර්දෝෂය. මම කිසි වරදක් කර නැත. මා පවිත්‍රය. එහෙත් දෙවි මට විරුද්ධව කාරණා සොයන්නේය.”’ යෝබ්ට වැරදිලා තිබුණේ කොතනද කියලා පෙන්වමින් එලිහු මෙහෙමත් කිව්වා. “ඔබ කතා කරන ආකාරය සාධාරණයි කියා ඔබ සිතනවාද? ‘මම දෙවිට වඩා ධර්මිෂ්ඨයි’ කියා ඔබ කීවෙහිය.” (යෝබ් 33:8-12; 35:2) හැම දෙයක්ම අහිමි වුණු එක ගැනත් යාළුවන් විදිහට බොරුවට මවා පාපු තුන්දෙනාගෙන් නොයෙකුත් නින්දා අපහාසවලට මුහුණ දෙන්න වුණු එක ගැනත් යෝබ් හොඳටම කලකිරිලයි හිටියේ කියලා එලිහු දැනගෙන හිටියා. ඒත් පරෙස්සම් වුණේ නැත්නම් “ඔබේ සිතෙහි ඇති කෝපය වෛරයට පෙරළී, අපහාසාත්මක ලෙස ක්‍රියා කිරීමට ඉඩ ඇත” කියලා එලිහු යෝබ්ට අනතුරු ඇඟෙව්වා.—යෝබ් 36:18.
යෙහෝවා දෙවියන් කොයි තරම් කරුණාවන්ත කෙනෙක්ද කියලා එලිහු පෙන්නලා දුන්නා
එලිහුට වැඩියෙන්ම උවමනා වුණේ යෙහෝවා දෙවියන් අතින් කවදාවත් අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න. ඒ වටිනා සත්‍යය පැහැදිලිව කාවද්දමින් ඔහු මෙහෙම කිව්වා. ‘සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත. සියලු බලැති දෙවි කිසි දිනක අසාධාරණයක් සිදු කරන්නේ නැති බව ස්ථිරය.’ (යෝබ් 34:10, 12) තමන් ගැන ඕනෑවට වඩා හිතලා දෙවියන්ට අගෞරව වෙන විදිහට යෝබ් කතා කරපු නිසා ඕනෙ නම් ඔහුට දඬුවම් කරන්න යෙහෝවා දෙවියන්ට හැකියාව තිබුණත් දෙවියන් එහෙම කළේ නැහැ කියලා එලිහු මතක් කළා. (යෝබ් 35:13-15) එහෙම කරපු එකෙන් යෙහෝවා දෙවියන් මොන තරම් දයාන්විත, යුක්තිගරුක කෙනෙක්ද කියලා තේරුම්ගන්න එලිහු යෝබ්ට උදව් කළා. දෙවියන් ගැන තමන් හැම දේම දන්නවා කියලා අඟවමින් පුරාජේරු දොඩවනවා වෙනුවට එලිහු නිහතමානීව මෙහෙම කිව්වා. “දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා අපට කිසිදා තේරුම්ගත නොහැකිය.”—යෝබ් 36:26.
යෝබ්ට ඕන කරන උපදෙස එලිහු කෙළින්ම කිව්වත් ඔහු ඒක කළේ හරිම කාරුණික විදිහට. යෙහෝවා දෙවියන් යෝබ්ගේ අසනීපය සම්පූර්ණයෙන්ම සුව කරන කාලයක් ඉදිරියේදී එනවා කියන ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැනත් එලිහු යෝබ්ට මතක් කළා. එදාට දෙවියන් ඔහුගේ විශ්වාසවන්ත සේවක යෝබ් ගැන මෙහෙම කියයි. “ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය. ඔහු නැවත තරුණ වියට පැමිණෙන්නේය.” එලිහු යෝබ්ට කරුණාවෙන් සැලකුවා කියලා කියන්න තියෙන තවත් හේතුවක් බලන්න. ඔහු නිකම්ම යෝබ්ට දේශනයක් දෙනවා වෙනුවට මෙහෙම කිව්වා. “ඔබට යමක් කීමට ඇත්නම් මට පවසන්න. මන්ද ඔබ ගත කළ ධර්මිෂ්ඨ ජීවිතය ගැන මම සතුටු වෙමි.” (යෝබ් 33:25, 32) ඒත් යෝබ් කිසිම දෙයක් කිව්වේ නැහැ. එලිහු ඒ තරම් කාරුණිකව කතා කරමින් දිරිගන්වන විදිහට තමන්ව නිවැරදි කරද්දී නිදහසට කරුණු කියන්න ඕනෙ නැහැ කියලා යෝබ්ට හිතෙන්න ඇති. එලිහු තමන් ගැන මොන තරම් නම් සැලකිලිමත් වෙනවාද කියලා තේරුම්ගත්තාම සමහරවිට යෝබ්ට ඇඬෙන්නත් ඇති.
දෙවියන්ට විශ්වාසවන්තව හිටපු එලිහුගෙනුත් යෝබ්ගෙනුත් අපිට හුඟක් වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. කෙනෙක්ට අවශ්‍ය උපදෙස් සහ සහනය දෙන්න ඕන කොහොමද කියලා අපිට එලිහුගෙන් ඉගෙනගන්න පුළුවන්. යාළුවෙක් අතින් ලොකු අඩුපාඩුවක් වෙනවා දැක්කොත් එහෙමත් නැත්නම් බරපතළ වරදක් වෙන්න ඉඩ තියෙනවා කියලා දැනුණොත් ඒ ගැන කියන එක අමාරු වුණත් හොඳ යාළුවෙක් ඒ ගැන නොකියා ඉන්නේ නැහැ. (හිතෝපදේශ 27:6) අපි හැමෝටමත් ඕනෙ ඒ වගේ යාළුවෙක් වෙන්න නේද? වේදනාවෙන් ඉන්න කෙනෙක් හිතලා බලන්නේ නැතුව වැරදි දේවල් කිව්වත් හොඳ යාළුවෙක් දිගටම ඔහුට කාරුණිකව උදව් කරනවා, දිරිගන්වනවා. අපේ අතින් වරදක් අඩුපාඩුවක් වුණු වෙලාවක කෙනෙක් අපිට උපදෙසක් දෙද්දී ඒක නොසලකාහරිනවා වෙනුවට නිහතමානීව ඒක පිළිගන්න යෝබ්ගේ ආදර්ශය අපිට උදව් වෙනවා. අපි හැමෝටම උපදෙස්, නිවැරදි කිරීම් ඕන වෙනවා. ඒ දේවල් ලැබෙද්දී අපි ඒවා කැමැත්තෙන්ම පිළිගන්නවා නම් අපේ ජීවිතය රැකගන්න අපිට පුළුවන්.—හිතෝපදේශ 4:13.
‘දෙවි සැඩ සුළඟ මැදින් කතා කරයි’
එලිහු කතා කරද්දී සුළං, වලාකුළු, ගිගුරුම් හඬ සහ අකුණු සැර ගැන නිතරම සඳහන් කළා. ඔහු යෙහෝවා දෙවියන් ගැන කියද්දී මෙහෙම කිව්වා. ‘දෙවිගේ ගිගුරුම් හඬට හොඳින් සවන් දෙන්න.’ ටික වෙලාවකට පස්සේ එලිහු “කුණාටුව” ගැන කතා කළා. (යෝබ් 37:2, 9) පේන විදිහට එලිහු යෝබ් එක්ක කතා කරමින් ඉද්දී හමපු සුළඟ ටිකෙන් ටික වැඩි වෙලා අන්තිමේදී ඒක දරුණු කුණාටුවක් දක්වා වැඩි වුණා. ඊටපස්සේ සිද්ධ වුණේ හරිම පුදුම හිතෙන දෙයක්. ඒ සැඩ සුළඟ අතරින් යෙහෝවා දෙවියන් කතා කළා.—යෝබ් 38:1.
මුළු විශ්වයේම සැදුම්කරු පරිසරය ගැන දෙන දේශනයකට ඇහුම්කන් දෙන්න ලැබෙන එක මොන තරම් නම් වරප්‍රසාදයක්ද!
යෙහෝවා දෙවියන් යෝබ් එක්ක කතා කරපු ඒ සිද්ධිය ගැන බයිබලයෙන් කියවලා බලද්දී අපිට ලොකු සහනයක් දැනෙනවා. ඒ වෙලාවේ සිද්ධ වුණේ හරියට සැඩ සුළඟක් ආවාම කුණු කසළ ගහගෙන යනවා වගේ දෙයක්. මොකද යෙහෝවා දෙවියන් කියපු දේවලින් එලිෆස්, බිල්දද් සහ ෂෝපර් කියපු කිසි කමකට නැති කතා බොරු බව ඔප්පු වුණා. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවියන් ඒ තුන්දෙනා ගැන සඳහන් කළේවත් නැහැ. දෙවියන් මුළු අවධානයම දුන්නේ යෝබ්ට විතරයි. තමන් හුඟක්ම ආදරේ කරන සේවකයෙක් වුණු යෝබ්ට යෙහෝවා දෙවියන් ඒ අවස්ථාවේදී කතා කළේ හරියට තමන්ගේ පුතා අතින් වුණු වරදක් නිවැරදි කරන ආදරණීය තාත්තා කෙනෙක් වගෙයි.
යෝබ්ගේ හිතේ මොන තරම් නම් වේදනාවක් තියෙනවාද කියලා යෙහෝවා දෙවියන් තේරුම්ගත්තා. යෝබ් මුහුණ දෙමින් ඉන්න තත්වය ගැන දෙවියන්ට ලොකු දුකක් දැනුණා. මොකද තමන්ගේ ආදරණීය දරුවන් දුක් විඳින හැම වතාවකදීම දෙවියන්ට ඒක තදින්ම දැනෙනවා. (යෙසායා 63:9; සෙකරියා 2:8) අද්දකින්න වුණු දේවල් ගැන යෝබ් කතා කළේ “කිසි අවබෝධයක්” නැතුව කියලත් ඒකෙන් යෝබ් එයාගේ දුක තවත් වැඩි කරගෙන තියෙනවා කියලත් දෙවියන් දැනන් හිටියා. ඒ නිසයි ඔහුව නිවැරදි කරන අරමුණින් දෙවියන් යෝබ්ගෙන් මෙහෙම ඇහුවේ. “මා පොළොවේ අත්තිවාරම් දැමූ විට ඔබ සිටියේ කොහේද? ඔබ දැනුම් තේරුම් ඇති කෙනෙකු නම් මට කියන්න.” දෙවියන් මුළු පොළොවම නිර්මාණය කරද්දී ඒ ගැන සතුටු වුණු “පහන් තාරකා” ඒ කියන්නේ දෙවියන්ගේ පවුලේ සාමාජිකයන් වන දේවදූතයන් ඒ ගැන ප්‍රීති ඝෝෂා නැඟුවා. (යෝබ් 38:2, 4, 7) ඒත් යෝබ් ඒ කිසිම දෙයක් ගැන දැනන් හිටියේ නැති නිසා දෙවියන් අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න යෝබ්ට පුළුවන් වුණේ නැහැ.
ඊළඟට යෙහෝවා දෙවියන් තමන් නිර්මාණය කරපු දේවල් ගැන කතා කළා. ඒක හරියට අද ස්වාභාවික විද්‍යාවන් විදිහට හඳුන්වන තාරකා විද්‍යාව, ජීව විද්‍යාව, භූ විද්‍යාව සහ භෞතික විද්‍යාව ගැන දෙවියන් යෝබ්ට පුංචි පාඩමක් කියලා දුන්නා වගෙයි. යෝබ් ජීවත් වුණු ප්‍රදේශයේ හිටිය සතුන් කීපදෙනෙක් වුණු සිංහයා, කපුටා, කඳු එළුවා, සීබ්රා, කුළු හරකා, පැස්බරා, අශ්වයා, කුරුලුගොයා, රාජාලියා, බෙහෙමොත් (පේන විදිහට හිපපොටේමස්) සහ ලෙවීයාතන් (සමහරවිට කිඹුලා) ගැන යෙහෝවා දෙවියන් කතා කළා. මුළු විශ්වයේම සැදුම්කරු පරිසරය ගැන දෙන දේශනයකට ඇහුම්කන් දෙන්න ලැබෙන එක මොන තරම් නම් වරප්‍රසාදයක්ද! *
නිහතමානිකම සහ ආදරය පෙන්වීම ගැන පාඩමක්
දෙවියන් ඒ හැම දෙයක්ම කියලා දුන්නේ යෝබ් තව කොයි තරම් නිහතමානී වෙන්න ඕනෙද කියලා කාවද්දන්නයි. යෙහෝවා දෙවියන් අතින් තමන්ට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා පැමිණිලි කරපු එකෙන් වුණේ යෝබ්ගේ වේදනාව තවත් වැඩි වුණු එක සහ දෙවියන් එක්ක එයාට තිබුණු බැඳීමට හානියක් වුණු එක විතරයි. ඒ නිසයි තමන් විශ්වයේ තියෙන පුදුමාකාර දේවල් නිර්මාණය කරද්දී යෝබ් හිටියේ කොහේද කියලත් තමන් නිර්මාණය කළ ජීවීන්ට කන්න දෙන්න, උන්ව හසුරුවන්න නැත්නම් හීලෑ කරන්න යෝබ්ට පුළුවන්ද කියලත් යෙහෝවා දෙවියන් ආයේ ආයෙත් යෝබ්ගෙන් ඇහුවේ. යෙහෝවා දෙවියන් නිර්මාණය කරපු දේවල් පාලනය කරන්න යෝබ්ට හැකියාවක් නැත්නම් නිර්මාතෘ කරන දේවල් විනිශ්චය කරන්න ඔහුට අයිතියක් තිබුණා කියලා හිතන්න පුළුවන්ද? දෙවියන් හිතන විදිහ සහ කටයුතු කරන විදිහ සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමේ හැකියාව යෝබ්ට තිබුණා කියලා හිතන්නවත් පුළුවන්ද?
යෝබ් දෙවියන් එක්ක තර්ක කළේවත් තමන් හරියි කියලා ඔප්පු කරන්න හැදුවේවත් නිදහසට කරුණු කියන්න ගියේවත් නැහැ
යෙහෝවා දෙවියන් කියපු හැම දේකින්ම පැහැදිලි වෙනවා ඔහුගේ හිතේ යෝබ් ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා. ඔහු හැම කාරණයක්ම යෝබ්ට ඉගැන්නුවේ හරිම තර්කානුකූල විදිහට. ඒක හරියට ඔහු යෝබ්ගෙන් මෙහෙම ඇහුවා වගෙයි. ‘මගේ පුතේ මේ හැම දෙයක්ම නිර්මාණය කරලා මං ඒවා හොඳින් බලාගන්නවා නම් මං ඔයාව ආදරෙන් රැකබලා ගන්නේ නැතුව ඉඳියිද? මං කවදාවත් ඔයාව තනි කරයිද? ඔයාගේ දරුවන්ව ඔයාගෙන් උදුරගනියිද? ඔයාගේ ජීවිතේ ගැටගහන්න තිබුණු දේවල් විනාශ කරලා දායිද? ඔයාගේ ශරීර සෞඛ්‍යයට හානියක් කරයිද? ඔයාගේ වේදනාවට සුවයක් ලබා දෙන්නත් ඔයාට අහිමි වෙලා තියෙන හැම දෙයක්ම ආයේ දෙන්නත් පුළුවන් එකම කෙනා මං නෙවෙයිද?’
යෝබ්ව හිතන්න සලස්වමින් යෙහෝවා දෙවියන් අහපු ප්‍රශ්නවලට යෝබ් උත්තර දුන්නේ දෙවතාවක් විතරයි. යෝබ් දෙවියන් එක්ක තර්ක කළේවත් තමන් හරියි කියලා ඔප්පු කරන්න හැදුවේවත් නිදහසට කරුණු කියන්න ගියේවත් නැහැ. ඒ වෙනුවට දෙවියන් එක්ක සසඳද්දී තමන් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා ඔහු නිහතමානීව පිළිගත්තා. ඒ වගේම හිතන්නේ බලන්නේ නැතුව කියපු දේවල් ගැනත් ඔහු පසුතැවුණා. (යෝබ් 40:4, 5; 42:1-6) යෝබ්ට දෙවියන් ගැන කොයි තරම් විශ්වාසයක් තිබුණාද කියලා ඒ තොරතුරුවලින් හොඳින්ම පැහැදිලි වෙනවා නේද? මොන තරම් වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙන්න වුණත් යෝබ් දෙවියන් ගැන තිබුණු විශ්වාසය දුර්වල කරගත්තේ නැහැ. යෙහෝවා දෙවියන් තමන්ව නිවැරදි කරද්දී යෝබ් ඒක පිළිගත්තා. හිතපු විදිහත් වෙනස් කරගත්තා. දැන් අපි එක් එක් කෙනා මේ ගැන කල්පනා කරමු. ‘කවුරු හරි මාව නිවැරදි කරද්දී මට උපදෙසක් දෙද්දී මං නිහතමානීව ඒක පිළිගන්නවාද?’ අපි හැමෝටම යම් අවස්ථාවලදී නිවැරදි කිරීම්, උපදෙස් ඕන වෙනවා. අපි ඒවා පිළිගන්නවා නම් අපි ආදර්ශයට ගන්නේ දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියපු යෝබ්වයි.
‘ඔබ මා ගැන සත්‍යය තොරතුරු පැවසුවේ නැහැ’
ඊළඟට දෙවියන් යෝබ්ව සනසන්න පියවර ගත්තා. පේන විදිහට එතැන හිටිය වැඩිමල්ම කෙනා වුණු එලිෆස්ට යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “ඔබත් ඔබේ මිතුරන් දෙදෙනාත් මාගේ සේවක යෝබ් මෙන් නොවෙයි. ඔබ මා ගැන සත්‍යය තොරතුරු පැවසුවේ නැති නිසා මම ඔබ තිදෙනා සමඟ මහත් උදහසින් සිටිමි.” (යෝබ් 42:7) යෙහෝවා දෙවියන් ඒකෙන් අදහස් කළේ යෝබ්ව සනසන්න හිතාගෙන ආපු තුන්දෙනා කියපු හැම දෙයක්ම වැරදියි කියන එකවත් යෝබ් කියපු හැම දෙයක්ම හරියි කියන එකවත් නෙවෙයි. * හැබැයි යෝබ් සහ ඒ පුද්ගලයන් තුන්දෙනා අතරේ ලොකු වෙනසක් තිබුණා. සිද්ධ වුණු දේවල් නිසා යෝබ්ගේ හිත කැඩිලයි තිබුණේ. තමන්ට අහිමි වුණු දේවල් ගැන යෝබ් හිටියේ ලොකු වේදනාවකින්. ඒ විතරක් නෙවෙයි යෝබ්ව සනසන්න ආපු තුන්දෙනා කියපු දේවල් නිසා යෝබ් හුඟක් අධෛර්යය වුණා. ඒ දේවල් නිසා සමහර අවස්ථාවලදී හිතන්නේ බලන්නේ නැතුව යෝබ් කතා කරපු එක පුදුමයක් නෙවෙයි. හැබැයි එයාව සනසන්න ආපු අයගේ තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. යෝබ් මුහුණ දීපු දේවලට ඒ අය මුහුණ දීලා තිබුණේ නැහැ. ඒ අයට දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් තිබුණෙත් නැහැ. තමන් ගැන මහා ඉහළින් හිතපු ඒ අය යෝබ්ගේ හිත පෑරෙන විදිහට කතා කළේ හිතාමතාමයි. නිර්දෝෂ කෙනෙක්ට බොරු චෝදනා එල්ල කළා විතරක් නෙවෙයි දෙවියන් හරිම දුෂ්ට කුරිරු කෙනෙක් කියලත් ඒ අය ඇඟෙව්වා. ඒක මොන තරම් උද්දච්චකමක්ද!
යෙහෝවා දෙවියන් මිල අධික පූජාවක් ඔප්පු කරන්න කියලා ඒ අයට අණ කරපු එක පුදුමයක් නෙවෙයි. දෙවියන් එයාලට කිව්වා ගොනුන් සත්දෙනෙක්වත් බැටළුවන් සත්දෙනෙක්වත් පූජා කරන්න කියලා. පස්සේ කාලෙකදී මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ සඳහන් වුණේ මුළු ජාතිය පිටටම පැමිණෙන විදිහේ වරදක් උත්තම පූජකයෙක් අතින් වුණොත් පාප පූජාවක් හැටියට වස්සෙක්ව ඔප්පු කරන්න ඕනෙ කියලයි. (ලෙවී කතාව 4:3) ඔප්පු කරන්න තිබුණු සත්ව පූජා අතරින් වැඩිම මුදලක් ගෙවන්න වුණේ ඒ පූජාවටයි. යෝබ්ව සනසන්න ආපු අයට දෙවියන් ඔප්පු කරන්න කියපු පූජාවේ වටිනාකම ගැන හිතද්දී හොඳින්ම පැහැදිලි වෙනවා ඒ අය අතින් වුණු වරද දෙවියන් මොන තරම් බරපතළ දෙයක් විදිහට සැලකුවාද කියලා. යෙහෝවා දෙවියන් තවත් වැදගත් කාරණයක් කිව්වා. දෙවියන් කිව්වා ඒ අය ඔප්පු කරන පූජාව තමන් පිළිගන්නේ යෝබ් ඒ අය වෙනුවෙන් යාච්ඤා කළොත් විතරයි කියලා. * (යෝබ් 42:8) යෙහෝවා දෙවියන් ඒ අය නඟපු චෝදනාවන් බොරුයි කියලා කියපු එකෙනුත් යුක්තිය ඉටු කරපු එකෙනුත් යෝබ්ගේ හිතට මොන තරම් නම් සහනයක් දැනෙන්න ඇද්ද!
‘මාගේ සේවක යෝබ් ඔබ වෙනුවෙන් යාච්ඤා කරයි.’—යෝබ් 42:8
තමන්ගේ හිත පෑරෙන විදිහට කතා කරපු අයට සමාව දීලා යෝබ් ඒ අය වෙනුවෙන් යාච්ඤා කරයි කියලා යෙහෝවා දෙවියන්ට ලොකු නිසැකකමක් තිබුණා. දෙවියන්ට යෝබ් ගැන තිබුණු ඒ විශ්වාසය ඔහු කඩ කළේ නැහැ. ඔහු දෙවියන්ට කීකරු වුණා. (යෝබ් 42:9) ඔහු කියපු වචනවලින් පෙන්නුවාටත් වඩා ඔහු කරපු ඒ ක්‍රියාවෙන් ඔහු පැහැදිලිවම ඔප්පු කළා තමන් දෙවියන්ට කොයි තරම් විශ්වාසවන්ත කෙනෙක්ද කියලා. දෙවියන්ට කීකරු වුණු නිසා යෝබ් හුඟක් ආශීර්වාද අද්දැක්කා.
‘ගැඹුරු ස්නේහයක් ඇති කෙනෙක්’
යෙහෝවා දෙවියන් යෝබ් එක්ක කටයුතු කරපු විදිහෙන් පැහැදිලි වෙනවා ඔහු “ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත” කෙනෙක් කියලා. (යාකොබ් 5:11) ඔහු යෝබ්ට නිරෝගී සෞඛ්‍යයක් ලබා දුන්නා. හිතන්න, එලිහු කියපු විදිහටම තමන්ගේ “සම දරුවෙකුගේ සමට වඩා මෘදු” වෙලා කියලා දැනෙද්දී යෝබ්ට කොහොම හැඟෙන්න ඇද්ද කියලා. යෝබ්ගේ පවුලේ අයයි, යාළුවොනුයි ඔහුව වට කරගෙන සැනසුවා. තෑගි දුන්නා. යෝබ්ට නැති වුණු හැම දේම දෙවියන් ආයෙත් ඔහුට ලබා දුන්නා. ඔව්, අහිමි වුණු වස්තුව වගේ දෙගුණයක් යෝබ්ට ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි යෝබ්ටයි, ඔහුගේ බිරිඳටයි තව දරුවන් දහදෙනෙක්ව බිහි කරන්න දෙවියන් අවස්ථාව ලබා දුන්නා. තමන්ට අහිමි වුණු දරුවන් නැති දුක ඒකෙන් සම්පූර්ණයෙන්ම යටපත් වුණේ නැතත් සතුටින් ජීවත් වෙන්න ඒ දේ යෝබ්ටත් බිරිඳටත් උදව් වුණු බවට නම් සැකයක් නැහැ. ඒ සිද්ධීන් වුණාට පස්සේ තව අවුරුදු 140ක් ජීවත් වෙන්නත් දෙවියන් යෝබ්ට අවස්ථාව දුන්නා. ඒ කියන්නේ යෝබ්ට පරම්පරා හතරක්ම දැක බලා ගන්න පුළුවන් වුණා. බයිබලයේ කියන්නේ “යෝබ් තෘප්තිමත් ජීවිතයක් ගත කර මහලු වියේදී මිය ගියේය” කියලයි. (යෝබ් 42:10-17) සාතන් ගෙනාපු පීඩාව නිසා අහිමි වුණු දරුවන් ඇතුළු තමන්ගේ පවුලේ හැමෝමත් එක්ක අනාගතයේදී පාරාදීස පොළොවේ සතුටින් ජීවත් වෙන්න යෝබ්ටත් ඔහුගේ ආදරණීය බිරිඳටත් අවස්ථාව ලැබෙනවා.—යොහන් 5:28, 29.
යෙහෝවා දෙවියන් යෝබ්ට ඒ තරම්ම ආශීර්වාද කළේ ඇයි? “යෝබ් විඳදරාගත් ආකාරය ගැන ඔබ අසා ඇති” කියලා බයිබලයේ කියලා තියෙන දෙයින් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. (යාකොබ් 5:11) අපි අතරේ ඉන්න කිසිම කෙනෙක්ට යෝබ්ට විඳදරාගන්න වුණු තරම් පීඩා විඳදරාගන්න සිද්ධ වෙලා නැතුව ඇති. යෝබ් ‘විඳදරාගත්තා’ කියලා බයිබලයේ කියලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා තමන්ට ආපු පීඩා නිකම්ම දරාගත්තාට වඩා දෙයක් ඔහු කළා කියලා. ඔව්, මොන පීඩාවක් ආවත් යෝබ් තමන්ගේ හිතේ දෙවියන් ගැන තිබුණු විශ්වාසය සහ ආදරය නැති කරගත්තේ නැහැ. හිතාමතාම තමන්ගේ හිත පාරපු අය ගැන හිතේ අමනාපයක් තියාගෙන කේන්තියෙන් කටයුතු කරනවා වෙනුවට යෝබ් කැමැත්තෙන්ම ඒ අයට සමාව දුන්නා. තමන්ට තිබුණු බලාපොරොත්තුව බොඳ වෙන්න ඔහු ඉඩ දුන්නෙත් නැහැ. කිසිම දෙයක් නිසාවත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක ඔහු අත්හැරියේ නැහැ. මොකද ඒ දේ තමයි ජීවිතේ වටිනාම දේ විදිහට ඔහු සැලකුවේ.—යෝබ් 27:5.
යෝබ්ව අධෛර්යය කරන්න වෑයම් කළා වගේ සාතන් අපිවත් අධෛර්යය කරන්න වෑයම් කරන බවට නම් කිසිම සැකයක් නැහැ. ඒ නිසා අපි හැමෝම විඳදරාගන්න එක හරිම වැදගත්. දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය නැති කරගන්නේ නැතුව දිගටම නිහතමානීව කටයුතු කරනවා නම්, කැමැත්තෙන්ම අනිත් අයට සමාව දෙනවා නම් ඒ වගේම දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගෙන ඉන්නවා නම් අනාගතය ගැන අපිට තියෙන බලාපොරොත්තුව ඇත්තක් කරගන්න අපිට පුළුවන්. (හෙබ්‍රෙව් 10:36) යෝබ් වගේ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක තමයි අපේ ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවියන්ව සතුටු කරන්නත් සාතන්ට හොඳ කම්මුල් පහරක් දෙන්නත් පුළුවන් හොඳම විදිහ. ඒ තරම් වටින දෙයක් තවත් නැහැ.
^ 6 ඡේ. බයිබලයේ පරිච්ඡේද 9ක් විතර පිරෙන්න තරම් දේවල් එලිෆස්, බිල්දද් සහ ෂෝපර් යෝබ්ට කියලා තියෙනවා. හැබැයි ඒ එක අවස්ථාවකදීවත් ඔවුන් යෝබ්ගේ නමින් කතා කරලා නැහැ.
^ 14 ඡේ. සමහර වෙලාවට යෙහෝවා දෙවියන් දේවල් ඇති සැටියෙන් කෙළින්ම විස්තර කරලා තියෙනවා. ඒත් තවත් වෙලාවක ඔහු කාව්‍යමය වචන යොදාගෙන උපමාලංකාරයෙන් දේවල් විස්තර කරලා තියෙනවා. ඔහු ඒ ඉගැන්වීම් ක්‍රම දෙකම කොයි තරම් දක්ෂ විදිහට යොදාගෙන තියෙනවාද කිව්වොත් ඒ වාර්තාව කියවද්දී ඒ ක්‍රම දෙක මාරුවෙන් මාරුවට යොදාගෙන තියෙනවා කියලා ඔයාට දැනෙන එකක්වත් නැහැ. (උදාහරණෙකට යෝබ් 41:1, 7, 8, 19-21 බලන්න.) ඒ මොන ක්‍රමය යොදාගෙන කතා කළත් යෙහෝවා දෙවියන්ට ඕන වුණේ නිර්මාතෘ ගැන යෝබ්ට තිබුණු අගය සහ ගෞරවය තවත් වැඩි කරගන්න උදව් කරන්නයි.
^ 18 ඡේ. එක අවස්ථාවකදී පාවුලුත් එලිෆස් කියපු දෙයක් උපුටලා දැක්වුවා. (යෝබ් 5:13; 1 කොරින්ති 3:19) එලිෆස් කියපු ඒ දේ ඇත්තක් වුණත් ඒක යෝබ්ට අදාළ වුණේ නැහැ.
^ 19 ඡේ. යෝබ්ට තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඒ වගේ පූජාවක් ඔප්පු කරන්න වුණා කියලා බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ.