Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යෙරෙමියා 33:3 - “මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තර දෙමි”

යෙරෙමියා 33:3 - “මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තර දෙමි”

 “මට කතා කරන්න. එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි. ඔබ කලින් නොදැන සිටි, ඔබට තේරුම්ගැනීමට අපහසු වූ පුදුම දේවල් මම ඔබට දැන් පහදා දෙන්නෙමි.”—යෙරෙමියා 33:3, ‘නව ලොව පරිවර්තනය.’

 “මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.”—යෙරෙමියා 33:3, ‘පැරණි අනුවාදය.’

යෙරෙමියා 33:3 අදහස

 මේ වචනවල තියෙන්නේ තමන්ට යාච්ඤාවෙන් කතා කරන්න කියලා දෙවියන් මිනිස්සුන්ට කරන ආරාධනයක්. ඒ ආරාධනාව පිළි අරන් ඔහුට යාච්ඤා කරන අයට ඔහු අනාගතයේදී සිද්ධ වෙන දේවල් හෙළි කරනවා කියලා පොරොන්දු වෙනවා.

 “මට කතා කරන්න. එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි.” “මට කතා කරන්න” කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ නිකම්ම දෙවියන්ට අඬගහන එකවත් ඔහුගේ නම කියලා කෑගහන එකවත් නෙවෙයි. ඒ වෙනුවට දෙවියන් මේ කියන්නේ යාච්ඤා කරලා ඔහුගේ මඟ පෙන්වීම් සහ උදව් ඉල්ලන්න කියලා.—ගීතාවලිය 4:1; යෙරෙමියා 29:12.

 පේන විදිහට දෙවියන් මේ ආරාධනය කරන්නේ ඊශ්‍රායෙල් ජාතියට. මේ වෙද්දී එයාලා දෙවියන්ට විරුද්ධව කැරලිගහලා තිබ්බ නිසා යෙරුසලම වටලන්න දෙවියන් බැබිලෝනිවරුන්ට ඉඩහැරලා තිබුණේ. (යෙරෙමියා 32:1, 2) ඉතින් යෙහෝවා a දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියනවා එයාලාගේ වැරදි අතහැරලා ආපහු දෙවියන් ළඟට එන්න කියලා. ඒ වගේම යාච්ඤා කරලා ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න කියලා.

 “ඔබ කලින් නොදැන සිටි, ඔබට තේරුම්ගැනීමට අපහසු වූ පුදුම දේවල් මම ඔබට දැන් පහදා දෙන්නෙමි.” මෙතන “තේරුම්ගැනීමට අපහසු වූ” කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මිනිස්සුන්ට කවදාවත් එයාලාගෙම හැකියාවෙන් තේරුම්ගන්න බැහැ කියන එකයි. “තේරුම්ගැනීමට අපහසු වූ” කියන යෙදුම “සැඟවුණු” නැත්නම් “රහස්” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්.

 දෙවියන් හෙළි කරන “රහස්” මොනවාද? ඒකට අතීත යෙරුසලම් නගරය විනාශ වෙන එක, ඒක පාළුවට යන එක වගේම පස්සේ කාලෙක ඒක නැවත පිහිටුවන එක වගේ අනාගතයේදී වෙන දේවල් ඇතුළත්. (යෙරෙමියා 30:1-3; 33:4, 7, 8) ඒ නගරය විනාශ වුණත් දෙවියන් පොරොන්දු වුණා ඊශ්‍රායෙල්වරු සෙනඟක් විදිහට නැත්තටම නැති වෙලා යන්නේ නැහැ කියලා.—යෙරෙමියා 32:36-38.

යෙරෙමියා 33:3 අවට පද

 යෙහෝවා දෙවියන් යෙරෙමියාට මේ පණිවිඩය දැනුම් දෙන්නේ ක්‍රි.පූ. 608දී. ඒ කියන්නේ ශෙදකියා රජගේ පාලන සමයේ දහවෙනි අවුරුද්දේදී. යෙරෙමියා කිව්වා සතුරු හමුදාවක් යෙරුසලම යටත් කරගෙන ශෙදකියා රජව වහල්භාවයට අරගෙන යනවා කියලා. හැබැයි යෙරෙමියා කියපු ඒ පණිවිඩය අහන්න ශෙදකියා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ නිසා එයා යෙරෙමියාව හිරේ දැම්මා.—යෙරෙමියා 32:1-5; 33:1; 37:21.

 ඔන්න ඔය වගේ වාතාවරණයක් තියෙද්දී තමයි යෙහෝවා දෙවියන් යෙරෙමියා 33:3 තියෙන ආරාධනය ඊශ්‍රායෙල් සෙනඟට කරන්නේ. හැබැයි ශෙදකියා රජ සහ ඊශ්‍රයෙල්වරුන්ගෙන් වැඩිදෙනෙක් ඒ ආරාධනය පිළිගත්තේ නැහැ. (යෙරෙමියා 7:26; 25:4) එයාලා දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට යාච්ඤා කළේ නැහැ. ඒක කොච්චර කණගාටුදායකද! ඒ නිසා හරියටම අවුරුද්දකට පස්සේ බැබිලෝනිවරු ශෙදකියා රජව බලයෙන් පහ කළා. යෙරුසලම විනාශ කළා. ඒ වගේම හුඟදෙනෙක්ව වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.—යෙරෙමියා 39:1-7.

 යෙරෙමියා 33:3න් අද අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද? එතන කියන විදිහට අපි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔහුගේ වචනය වන බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරනවා නම් “දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක්” වගේම “ගැඹුරු කාරණා” ගැන අවබෝධයක් දෙවියන් අපිට දෙනවා. (කොලොස්සි 1:9; 1 කොරින්ති 2:10) දෙවියන් හෙළි කරන ගැඹුරු කාරණාවලට ඔහු අනාගතයේදී කරන්න යන දේවලුත් ඇතුළත්.—එළිදරව් 21:3, 4.

 යෙරෙමියා පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.