2020 මැයි 6
ශ්‍රී ලංකාව
ගෙදරට කොටු වුණත් සංඥා භාෂාව කතා කරන අය දිගටම සාක්ෂි දරයි
ලෝකේ පුරාම පැතිරිලා තියෙන කෝවිඩ් 19 වසංගතය නිසා හුඟක් රටවල විවිධ තහංචි පනවලා තියෙනවා. ඒ තහංචි මැද වුණත් ශ්‍රී ලංකාවේ සංඥා භාෂාව කතා කරන අපේ සහෝදර සහෝදරියන් තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන අරන් දිගටම සේවයේ හවුල් වෙනවා.
පුරෝගාමි සහෝදරියක් වන සහෝදරි විහංගා ප්‍රනාන්දු ලියුම් මාර්ගයෙන් සාක්ෂි දරනවා. හැබැයි සංඥා භාෂාව කතා කරන හුඟක් අයට වචන කියවලා තේරුම්ගන්න අමාරු නිසා එයා යවන ලියුම්වල පින්තූර ඇඳලා ඒ මාර්ගයෙන් බයිබලයේ තියෙන සත්‍යයන් උගන්වනවා.
සහෝදරි රෝසි චිත්රවේලායුදම් කවදාවත් හිතුවේ නැහැ වීඩියෝ කෝල්ස්වලින් බයිබල් පාඩම් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ඉස්සර මම සංඥා භාෂාව කතා කරන අයට වීඩියෝ කෝල් එකකින් කතා කළාම සිග්නල් හොඳට තිබුණේ නැති නිසා මං සංඥා භාෂාවෙන් කියන දේවල් එයාලට තේරුම්ගන්න බැරි වුණා.” හැබැයි මේ අමාරු කාලේදිත් දිගටම බයිබල් පාඩම් කරන්න රෝසිට ඕන වුණා. ඒ නිසා එයා ආපහු ඒ ක්‍රමය අත්හදා බැලුවා. දැන් එයා වීඩියෝ කෝල්ස්වලින් බයිබල් පාඩම් 3ක් කරනවා. එයාලා වීඩියෝ කොන්ෆරන්ස් හරහා රැස්වීම්වලටත් සහභාගි වෙනවා.
සංඥා භාෂාව කතා කරන සහෝදරි නිරෝෂා ශිරන්ති බව්තීස්ම වුණේ 2020 මාර්තු මාසේදියි. මුලදී වීඩියෝ කෝල්ස්වලින් සාක්ෂි දරන්න එයාට ලොකු බයක් තිබුණා. ඒ නිසා එයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලුවා. ඊටපස්සේ යේසුස්ගේ මරණය සිහි කිරීමේ කාලේදී එයා සහායක පුරෝගාමි සේවය කළා. ප්‍රතිඵලයක් විදිහට යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න කියලා එයා කරපු ආරාධනය සංඥා භාෂාව කතා කරන හුඟදෙනෙක් පිළිගත්තා. ඒ අතරින් කීපදෙනෙක් අන්තිම දවස් ගැන බයිබලයේ තියෙන තොරතුරු දැනගන්නත් කැමති වෙලා තියෙනවා. ඒ නිසා අලුතින් බයිබල් පාඩම් 7ක් පටන්ගන්න නිරෝෂාට පුළුවන් වුණා. එයා මෙහෙම කියනවා. “සේවේ හවුල් වෙද්දී මට ලොකු සතුටක් දැනෙනවා. මේ දවස්වල අපි ගෙවල්වලට කොටු වෙලා හිටියත් අපි තාමත් දේශනා කරනවා. යෙහෝවා දෙවියන් ඔහුගේ අරමුණට බාධාවක් වෙන්න කිසිම දේකට ඉඩ දෙන්නේ නැහැ.” නිරෝෂා දිගටම සහායක පුරෝගාමි සේවය කරන්න තීරණය කරලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ ඉන්න සංඥා භාෂාව කතා කරන අපේ සහෝදර සහෝදරියන් යෙහෝවා දෙවියන්ගේ නාමයට ප්‍රශංසා කරන්න දරපු වෑයම්වලට මොන තරම් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවාද!—ගීතාවලිය 113:1.