Skip to content

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම සඳහා මඟ පෙන්වීම්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම සඳහා මඟ පෙන්වීම්

පටුන

1. ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීමේ පැවරුමක් තියෙන හැමෝටම මේ ඩොකියුමන්ට් එකේ තියෙන මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පැවරුමක් ලැබෙද්දී ඊට සූදානම් වෙන්න කලින් ඒ පැවරුම ඉටු කරන විදිහට අදාළ මඟ පෙන්වීම් සඳහා ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ වගේම මේ ඩොකියුමන්ට් එකේ තියෙන මඟ පෙන්වීම්ද හොඳින් කියවලා තේරුම්ගන්න ඕනේ. ශිෂ්‍ය පැවරුම් ඉදිරිපත් කරන්න කියලා සියලුම ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න ඕනේ. සභාව එක්ක ක්‍රියාශීලීව ඇසුරු කරන වෙනත් අය බයිබල් ඉගැන්වීම්වලට එකඟ වෙනවා නම් සහ එයාලා ක්‍රිස්තියානි ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා නම් එයාලටත් ඒකට සහභාගි වෙන්න පුළුවන්. පැවරුමක් ඉදිරිපත් කරන්න කැමතියි කියලා ප්‍රචාරකයෙක් නොවන කෙනෙක් කිව්වොත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම භාර සහෝදරයා ඒ කෙනාත් එක්ක සාකච්ඡා කරලා, එයාට සුදුසුකම් තියෙනවා නම් ඒ ගැන එයාට කියන්න ඕනේ. ඒක කරන්න ඕනෙ එයාත් එක්ක පාඩම කරන කෙනා (හෝ සත්‍යයේ ඉන්න එයාගේ අම්මා හෝ තාත්තා) ඉන්නකොටයි. බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න සලකා බලන සුදුසුකම්ම මේ සඳහාත් තියෙන්න ඕනේ.—od 8 පරි. 8 ඡේ.

 හැඳින්වීම

2. විනාඩි 1යි. හැම සතියකම ආරම්භක ගීතිකාවටයි යාච්ඤාවටයි පස්සේ, ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති වැඩසටහන ගැන උනන්දුවක් ඇති කරන අදහස් කිහිපයක් දක්වනවා. ඒ සඳහා ඔහු තෝරාගත යුත්තේ සභාවට වඩාත් ප්‍රයෝජනවත් වන කරුණුයි.

  දේවවචනය නිධානයක්

 3දේශනය: විනාඩි 10යි. මේ කොටසට තේමාවක් සහ ප්‍රධාන කරුණු දෙකක් හෝ තුනක් ‘ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ තිබෙනවා. මේ දේශනය පවරන්නේ වැඩිමහල්ලෙක්ට හෝ සුදුසුකම් ඇති සහයක සේවකයෙක්ටයි. බයිබලයේ පොතක් අලුතින් කියවන්න පටන්ගද්දී එය හඳුන්වලා දෙන්න වීඩියෝ එකක් පෙන්වනවා. මෙහෙයවන කෙනාට පුළුවන් වීඩියෝ එකේ තියෙන කරුණු තේමාවට අදාළ වන විදිහ පෙන්වන්න. ඒත් වැඩපොතේ තිබෙන කරුණු පියවන්න බලන්නත් ඕනේ. තිබෙන වෙලාව අනුව, වැඩපොතේ තිබෙන අමතර රූපසටහන් සහ පිංතූරු ඔහු හොඳින් යොදාගන්න ඕනේ. මොකද ඒවා සූදානම් කරලා තියෙන්නේ තොරතුරු තේරුම්ගන්න උදව්වක් විදිහටයි. සාකච්ඡා කරන විෂයට අදාළව වෙනත් මූලාශ්‍රවලින් ගත්ත තොරතුරු වුණත් ඇතුළත් කරන්න පුළුවන්.

 4දේවවචනයෙන් මැණික්: විනාඩි 10යි. වැඩිමහල්ලෙක් හෝ සුදුසුකම් ඇති සහයක සේවකයෙක් මෙහෙයවන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ඒකට ආරම්භයක් හෝ අවසානයක් නැහැ. කොටස මෙහෙයවන සහෝදරයා අදාළ ප්‍රශ්න දෙකම සබයෙන් ඇසිය යුතුයි. සඳහන් කරලා තියෙන බයිබල් ඡේද කියවනවාද නැද්ද කියලා තීරණය කරන්න මෙහෙයවන කෙනාට පුළුවන්. අදහස් දක්වන අය තත්පර 30කින් හෝ ඊට අඩු කාලයකින් අදහස් දැක්විය යුතුයි.

 5බයිබල් කියවීම: විනාඩි 4යි. මේ ශිෂ්‍ය පැවරුම ඉදිරිපත් කරන්නේ පිරිමි ශිෂ්‍යයෙකු විසිනුයි. ඔහු හැඳින්වීමක් හෝ අවසානයක් නැතුව එය කියවිය යුතුයි. රැස්වීමේ සභාපති විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ, කියවන කොටසේ අර්ථය තේරුම් අරන් නිවැරදිව, පැහැදිලිව, හඬ පාලනය කරමින්, නිසි විරාම යොදමින්, ස්වාභාවිකව හා පටලන්නේ නැතුව කියවන්න ශිෂ්‍යයාට උදව් කරන්නයි. කියවන්න ලැබෙන සමහර කොටස් කෙටි ඒවා වන අතර දීර්ඝ කොටස්ද ශිෂ්‍යයන්ට ලැබෙනවා. ඒ නිසා එක් එක් ශිෂ්‍යයාට පවරන්නේ කුමන කොටස්ද යන්න තීරණය කිරීමේදී ජීවිතය සහ දේවසේවය රැස්වීම භාර සහෝදරයා එක් එක් ශිෂ්‍යයාගේ හැකියාවන් සැලකිල්ලට ගන්න ඕනේ.

 සේවය හොඳින් කරන්න ඉගෙනගමු

6. විනාඩි 15යි. මේ කොටස සූදානම් කරලා තියෙන්නේ හැමෝටම සේවය සඳහා සූදානම් වෙන්න අවස්ථාවක් හැටියටයි. කතාබහක් පටන්ගන්න, දේශනා කරන්න සහ උගන්වන්න ඕන කරන හැකියාවන් දියුණු කරගන්න මේක හොඳ අවස්ථාවක්. අවශ්‍ය නම් වැඩිමහල්ලන්ට වුණත් ශිෂ්‍ය පැවරුම් ලබා දෙන්න පුළුවන්. හැම ශිෂ්‍යයෙක්ම ‘උගන්වන’ සඟරාවේ හෝ ‘ආදරෙන් උදව් කරමු’ කියන සඟරාවේ සඳහන් කරුණට අදාළව පැවරුම ඉටු කරන්න ඕනේ. ඒ කරුණ, ‘ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ අදාළ පැවරුමට ඉදිරියෙන් වරහන් ඇතුළේ සඳහන් කරලා තියෙනවා. සමහර සතිවල ඒ පැවරුම තියෙන්නේ “සාකච්ඡාවක්” විදිහට. ඒ වගේ කොටස් හසුරුවන්න ඕනෙ වැඩිමහල්ලෙක් හෝ ඒ සඳහා සුදුසුකම් තියෙන සහයක සේවකයෙක්.—“සාකච්ඡාවක්” කියලා සඳහන් වෙන කොටස් මෙහෙයවන විදිහ ගැන  15වෙනි ඡේදය බලන්න.

 7කතාබහක් පටන්ගද්දී: මේ පැවරුම ගැහැනු, පිරිමි ශිෂ්‍යයන් දෙපිරිසටම දෙන්න පුළුවන්. සහයට ගන්න කෙනා එකම ලිංගයේ කෙනෙක් හෝ පවුලේ කෙනෙක් වෙන්න ඕනේ. ශිෂ්‍යයාට සහ සහය වෙන කෙනාට පුළුවන් වාඩි වෙලා හරි හිටගෙන හරි මේ පැවරුම කරන්න.—මේ පැවරුමට අදාළ තොරතුරු සහ පසුබිම ගැන තවත් විස්තර සඳහා  12 සහ  13 ඡේද බලන්න.

 8ආයෙත් හම්බ වෙද්දී: මේ පැවරුම ගැහැනු, පිරිමි ශිෂ්‍යයන් දෙපිරිසටම දෙන්න පුළුවන්. සහයට ගන්න කෙනා එකම ලිංගයේ කෙනෙක් වෙන්න ඕනේ. (km 5/97 2 පි.) ශිෂ්‍යයාට සහ සහය වෙන කෙනාට පුළුවන් වාඩි වෙලා හරි හිටගෙන හරි මේ පැවරුම කරන්න. මේ පැවරුමේදී ශිෂ්‍යයා නිරූපණය කරන්න ඕනෙ උනන්දුව දක්වපු කෙනෙක්ව ආයෙත් හම්බ වෙලා කතා කරන විදිහයි.—මේ පැවරුමට අදාළ තොරතුරු සහ පසුබිම ගැන තවත් විස්තර දැනගන්න  12 සහ  13 ඡේද බලන්න.

 9ගෝලයන් වෙන්න උදව් කරද්දී: මේ පැවරුම ගැහැනු, පිරිමි ශිෂ්‍යයන් දෙපිරිසටම දෙන්න පුළුවන්. සහයට ගන්න කෙනා එකම ලිංගයේ කෙනෙක් වෙන්න ඕනේ. (km 5/97 2 පි.) ශිෂ්‍යයාට සහ සහය වෙන කෙනාට පුළුවන් වාඩි වෙලා හරි හිටගෙන හරි මේ පැවරුම කරන්න. මේ පැවරුමේදී නිරූපණය කරන්න ඕනෙ දැනටමත් කරන බයිබල් පාඩමක කොටසක්. හැඳින්වීමක් හෝ අවසානයක් අවශ්‍ය නැහැ. එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ ශිෂ්‍යයාට ඒ කරුණු වැඩ කරන්න පවරලා තියෙනවා නම් විතරයි. හැම ඡේදයක්ම කියවන එක අනිවාර්යය නැහැ, කැමති නම් කියවන්න පුළුවන්.

 10ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න: මේ පැවරුම දේශනයක් විදිහට ඉදිරිපත් කරන්න කියලා පවරලා තියෙන අවස්ථාවලදී ඒක කරන්න ඕනෙ පිරිමි ශිෂ්‍යයෙක් විසින්. හැබැයි ඒක නිරූපණයක් විදිහට ඉදිරිපත් කරන්න කියලා තියෙද්දී ශිෂ්‍යාවකටත් ඒක කරන්න පුළුවන්. සහයට ගන්න කෙනා එකම ලිංගයේ කෙනෙක් හෝ පවුලේ කෙනෙක් වෙන්න ඕනේ. නිරූපණයක් විදිහට කරන්න වෙද්දී අදාළ මූලාශ්‍රයේ තියෙන තොරතුරු පදනම් කරගෙන, තේමාවේ තියෙන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ලැබෙන විදිහට ඒක ගොඩනඟන්න ඕනේ. මේ පැවරුමට දීලා තියෙන තොරතුරු මූලාශ්‍රය ගැන කියනවාද නැද්ද කියලා තීරණය කරන්න ශිෂ්‍යයාට අවස්ථාව තියෙනවා.

 11දේශනය: මේ පැවරුම ඉදිරිපත් කරන්නේ පිරිමි ශිෂ්‍යයෙක් විසින්. එයා ඒක සබයට ඉදිරිපත් කරන්න ඕනෙ දේශනයක් විදිහටයි. ඒ දේශනය පදනම් වෙන්නේ ‘ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු’ කියන සඟරාවේ 1වෙනි උපග්‍රන්ථයේ කරුණක් මත නම් එහි සඳහන් බයිබල් පදයක්/පද දේවසේවයේදී පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැන එම දේශනයේදී කාවද්දන්න ඕනේ. උදාහරණයකට ශිෂ්‍යයාට පුළුවන් යම් බයිබල් පදයක් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව සහ ඒ පදයේ තේරුම පැහැදිලි කරන්න. ඒ වගේම අදාළ පුද්ගලයාට ඒක පැහැදිලි කරලා දෙන විදිහ විස්තර කරන්නත් ශිෂ්‍යයාට පුළුවන්. දේශනය, ‘ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු’ කියන සඟරාවේ පාඩමක් මත පදනම් වෙලා නම් තියෙන්නේ, ඒක දේවසේවයේදී අදාළ කරගන්න විදිහ පැහැදිලි කරන්න ශිෂ්‍යයා වැඩි අවධානයක් දෙන්න ඕනේ. අදාළ පාඩමේ 1වෙනි කරුණේ සඳහන් උදාහරණය අවධාරණය කරන්න ශිෂ්‍යයාට පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් එම පාඩමේ තියෙන “මේ පදත් බලන්න” කියන කොටසේ තියෙන කැමති බයිබල් පදයක් කැපිලා පේන්න සලස්වන්න පුළුවන්.

   12තොරතුරු: මේ ඡේදයේ සහ ඊළඟ ඡේදයේ තියෙන තොරතුරු “කතාබහක් පටන්ගද්දී” සහ ”ආයෙත් හම්බ වෙද්දී” කියන පැවරුම්වලට අදාළයි. යම් නිශ්චිත මඟ පෙන්වීමක් දීලා තියෙන අවස්ථාවකදී හැර, මේ පැවරුම් කරන ශිෂ්‍යයන්ගේ ඉලක්කය වෙන්න ඕනෙ එයා කතා කරන පුද්ගලයාට ගැළපෙන බයිබලයේ සඳහන් සරල ඉගැන්වීමක් පැහැදිලි කරන එක සහ ඊළඟ සාකච්ඡාවට අඩිතාලමක් දාගන්න එකයි. අද කාලයට සහ ජීවත් වෙන ප්‍රදේශයට ගැළපෙන විෂයක් ශිෂ්‍යයා තෝරගන්න ඕනේ. ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනයක් හෝ වීඩියෝ එකක් හඳුන්වලා දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න එයාට පුළුවන්. සාකච්ඡාව කටපාඩම් කරලා ඉදිරිපත් කරනවා වෙනුවට ශිෂ්‍යයා උත්සාහ කරන්න ඕනෙ අනිත් කෙනා ගැන හොඳට හිතලා ස්වාභාවික විදිහට ඒ පැවරුම ඉදිරිපත් කරන්න.

   13පසුබිම: දීලා තියෙන පසුබිම ශිෂ්‍යයා ප්‍රදේශයේ තත්වයට ගැළපෙන විදිහට සකස් කරගන්න ඕනේ. ඒකට මේ උදාරහණ බලන්න.

  1.  (1) ගෙයින් ගෙට: මේ පසුබිමට, ගෙයින් ගෙට ගිහින් සාක්ෂි දරන අවස්ථාවක්, ටෙලිෆෝන් එකෙන් හරි ලිපිවලින් හරි සාක්ෂි දරන අවස්ථාවක් ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙයින් ගෙට සේවයේදී උනන්දුව දක්වපු කෙනෙක් එක්ක ආයෙත් කරන සාකච්ඡාවකුත් ඒකට ඇතුළත් වෙන්න පුළුවන්.

  2.  (2) අවිධිමත්ව: මේ පසුබිම ලැබෙද්දී ශිෂ්‍යයාට නිරූපණය කරන්න තියෙන්නේ සාමාන්‍ය කතාබහක් සාක්ෂියක් දරන්න අවස්ථාවක් කරගන්න විදිහයි. වැඩපොළේදී, ඉස්කෝලේදී, පොදු ප්‍රවාහණ සේවයක් පාවිච්චි කරද්දී, එදිනෙදා වැඩකට එහේ මෙහේ යද්දී හම්බ වෙන කෙනෙක් එක්ක හෝ අසල්වැසියෙක් එක්ක කතා කරද්දී බයිබලයේ තියෙන අදහසක් ගැන කතා කරන එකත් ඒකට ඇතුළත්.

  3.  (3) පොදු සේවය: කාට්වල සාක්ෂි දරන එක, ව්‍යාපාරික ස්ථානවල ඉන්න අයට සාක්ෂි දරන එක, වීදි සේවය, පාක්වල සාක්ෂි දරන එක, රථ ගාල්වල සාක්ෂි දරන එක හෝ මිනිස්සුන්ව මුණගැහෙන ඒ වගේ ඕනෑම තැනක සාක්ෂි දරන එක මේ පසුබිමට ඇතුළත්.

 14වීඩියෝ සහ පොත් පත් යොදාගන්න විදිහ: තත්වයට අනුව වීඩියෝ එකක් පෙන්නන්න හරි ප්‍රකාශනයක් දෙන්න හරි ශිෂ්‍යයෙක් තීරණය කරන්න ඉඩ තියෙනවා. ශිෂ්‍ය පැවරුමක වීඩියෝ එකක් තියෙනවා නම් හෝ වීඩියෝ එකක් පෙන්නන්න ශිෂ්‍යයා තීරණය කරනවා නම් එයා ඒ වීඩියෝ එක හඳුන්වලා දීලා සාකච්ඡා කරන්න ඕනේ. නමුත් ඒක ප්ලේ කරන්නේ නැහැ.

  යහපත් ක්‍රිස්තියානීන් වෙමු

15. ගීතිකාවකින් පස්සේ විනාඩි 15කට තියෙන මේ කොටසට දේවවචනයේ මඟ පෙන්වීම් අදාළ කරගන්න සබයට උදව් වෙන කොටසක් හෝ දෙකක් ඇතුළත් වෙනවා. යම් නිශ්චිත මඟ පෙන්වීමක් දීලා තියෙන ඇවස්ථාවකදී හැර ඒ කොටස් වැඩිමහල්ලන්ට හෝ සුදුසුකම් තියෙන සහයක සේවකයන්ට පවරන්න පුළුවන්. ඒ කොටසක සභා අවශ්‍යතා කොටසක් තියෙනවා නම් ඒක පවරන්න ඕනෙ වැඩිමහල්ලෙකුට විතරයි. “සාකච්ඡාවක්” කියලා සඳහන් කරලා තියෙන කොටසකදී එම කොටසේ සඳහන් කරලා තියෙන ප්‍රශ්නවලට අමතරව, අමතර ප්‍රශ්න අහන්නත් කථිකයාට පුළුවන්. කොටසේ තියෙන මූලික කරුණු හොඳින් ආවරණය කිරීමට සහ සබයේ අයට පිළිතුරු ලබා දීමට අවස්ථාව ලබා දීම සඳහා කථිකයා එයාගේ හැඳින්වීම කොටස කෙටි කරන්න ඕනේ. ඒ කොටසේ සම්මුඛ සාකච්ඡාවක් කරන්න තියෙන්න පුළුවන්. පුළුවන් නම් ඒ සඳහා සහභාගි වන කෙනා වේදිකාවට ඇවිත් අදහස් දක්වන එක තමයි වඩාත් හොඳ.

  16සභා බයිබල් පාඩම: විනාඩි 30යි. මේ කොටස පවරන්න ඕනෙ සුදුසුකම් තියෙන වැඩිමහල්ලෙක්ටයි. (වැඩිමහල්ලන් ඉන්නේ සීමිත සංඛ්‍යාවක් නම් සුදුසුකම් තියෙන සහයක සේවකයන්ට ඒක දෙන්න පුළුවන්.) සභා බයිබල් පාඩම පවත්වන්න සුදුසුකම් තියෙන්නේ කාටද කියලා වැඩිමහල් මණ්ඩලය තීරණය කරන්න ඕනේ. තෝරගන්න අය පාඩම අර්ථවත් විදිහට මෙහෙයවන්න ඕනෙ වගේම ඒක නියමිත වෙලාවට අවසන් කරන්නත් ඕනේ. ඒ වගේම ප්‍රධාන බයිබල් පද කාවද්දන්න සහ තොරතුරු අදාළ වන විදිහ තේරුම්ගන්න හැමෝටම උදව් කරන්නත් එයාලට හැකියාව තියෙන්න ඕනේ. ප්‍රශ්නෝත්තර කොටස් මෙහෙයවන විදිහ ගැන සංවිධානයෙන් පළ කරලා තියෙන මඟ පෙන්වීම් හොඳින් කියවලා තේරුම්ගන්න එක සභා බයිබල් පාඩම මෙහෙයවන අයට ප්‍රයෝජනවත් වෙයි. (w23.04 24 පි., කොටුව) සතියට අදාළ තොරතුරු සාකච්ඡා කෙරුවාට පස්සේ පාඩම අනවශ්‍ය විදිහට දිගින් දිගට ඇදගෙන යන්න ඕනෙ නැහැ. පුළුවන් නම් හැම සතියකම පාඩම මෙහෙයවන්න සහ කියවන්න වෙනස් අයව පාවිච්චි කරන්න ඕනේ. පාඩම කෙටි කරන්න කියලා ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති කිව්වොත් ඒක කරන විදිහ මෙහෙයවන කෙනාට තීරණය කරන්න පුළුවන්. සමහර ඡේද කියවන්නේ නැතුව සාකච්ඡා කරන්නත් පුළුවන්.

  සාරාංශය

17. විනාඩි 3යි. ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති රැස්වීමේ තිබුණ ප්‍රයෝජනවත් කරුණුවල සාරාංශයක් ඉදිරිපත් කරනවා. ඊළඟ සතියේ සාකච්ඡා කරන තොරතුරුත් හඳුන්වලා දෙන්න ඕනේ. වෙලාව තියෙනවා නම් ඊළඟ සතියේ කොටස් තියෙන ශිෂ්‍යයන්ගේ නම් කියන්න පුළුවන්. දැනුම් දීලා තියෙන අවස්ථාවලදී හැර, අනික් අවස්ථාවලදී සභාපති රැස්වීම අවසන් කරන්න කලින් සබයට අත්‍යවශ්‍ය නිවේදන ඉදිරිපත් කරන්නත් අදාළ ලියුම් කියවන්නත් අවශ්‍යයි. ක්ෂේත්‍ර සේවය සඳහා තියෙන සැලසුම්, පිරිසිදු කිරීම කරන්නේ කවුද යනාදි පොදු තොරතුරු නිවේදනය කරන්න එපා. ඒවා දැන්වීම් පුවරුවේ දාන්න ඕනේ. මේ කොටසට වෙන් කරලා තියෙන වෙලාව ඇතුළත යම් ලිපි කියවන්න අමාරු නම් “යහපත් ක්‍රිස්තියානීන් වෙමු” කියන කොටස යටතේ තියෙන කොටස්වලින් කාලය ටිකක් අඩු කරන්න කියලා සභාපති කලින්ම ඒ කොටස් කරන සහෝදරයන්ට කියන්න ඕනේ. ( 16 සහ  19 ඡේද බලන්න.) ගීතිකාවකින් හා යාච්ඤාවකින් රැස්වීම අවසන් වෙයි.

  අගය කිරීම සහ උපදෙස්

18. හැම ශිෂ්‍ය පැවරුමකටම පස්සේ ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපතිට පුළුවන් ශිෂ්‍යයාට අදාළ කරගන්න තිබුණ පාඩමේ කරුණ පදනම් කරගෙන හොඳ පැති වගේම දියුණු කරගන්න ඕන පැති ගැනත් පැහැදිලි කරන්න. ඒ සඳහා ගන්න ඕනෙ විනාඩියක් විතරයි. ශිෂ්‍යයාව හඳුන්වලා දෙද්දී එයා වැඩ කරන පාඩම ගැන සභාපති සඳහන් කරන්නේ නැහැ. ඒත් පැවරුමෙන් පස්සේ එයාව අගය කරලා එයා වැඩ කරපු පාඩම සඳහන් කරලා එයා ඒක හොඳින් කෙරුවා කියන්න තියෙන හේතු සඳහන් කරන්න. එහෙම නැත්නම් ඒක තවත් හොඳින් කරන්න පුළුවන් විදි ගැන කියන්න පුළුවන්. ඊට අමතරව, ශිෂ්‍යයාට හෝ සබයට ප්‍රයෝජනවත් වෙයි කියලා සභාපති දකින තවත් පැති ගැනත් සඳහන් කරන්න පුළුවන්. රැස්වීමෙන් පස්සේ හෝ වෙනත් අවස්ථාවක එක් එක් ශිෂ්‍යයාව පෞද්ගලිකව හම්බ වෙලා එයාට පවරලා තිබුණ පාඩම ගැන හරි එයාට දියුණු කරගන්න පුළුවන් වෙනත් පැත්තක් ගැන හරි කතා කරන්න පුළුවන්. ඒ සඳහා ‘ආදරෙන් උදව් කරමු’ සඟරාව, ‘උගන්වන’ සඟරාව හෝ ‘සේවා පාසැල්’ පොත යොදාගන්න පුළුවන්.—ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති සහ අමතර උපදේශකගේ වගකීම් ගැන තවත් තොරතුරු දැනගන්න  19,  24, සහ  25 ඡේද බලන්න.

     වෙලාව

19කිසිම කොටසක් නියමිත වෙලාව ඉක්මවා නොයා යුතුයි. ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති ඉදිරිපත් කරන අදහස්වලටත් ඒක අදාළයි. එක් එක් කොටසට නියමිත වෙලාව ජීවිතය සහ දේවසේවය වැඩපොතේ සඳහන් කරලා තිබුණත් අදාළ කොටස නියමිත වෙලාවට කලින් හොඳින් සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන් නම් සාකච්ඡාව එතනින් නතර කරන එක වඩාත් සුදුසුයි. කොටස් ඉදිරිපත් කරන අය නියමිත වෙලාව ඉක්මවා ගියොත් ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති හෝ අමතර උපදේශක එයාලට පෞද්ගලිකව උපදෙස් දෙන්න ඕනේ. ( 24 සහ  25 ඡේද බලන්න.) ගීතිකා සහ යාච්ඤා ඇතුළුව මුළු වැඩසටහනම පැය 1යි විනාඩි 45කින් අවසන් වෙන්න ඕනේ.

 චාරිකා සතිය

20. චාරිකා සතියේදී ‘ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ තියෙන කොටස් ඒ විදිහටම කරන්න ඕනේ. ඒත් “යහපත් ක්‍රිස්තියානීන් වෙමු” කොටස යටතේ තියෙන සභා බයිබල් පාඩම වෙනුවට චාරිකා සේවකගේ පළවෙනි දේශනය විනාඩි 30කට ඉදිරිපත් කරනවා. ඊට කලින් ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති ඒ වෙන කල් සාකච්ඡා කරපු කොටස්වල සාරාංශයක් ඉදිරිපත් කරලා ඊළඟ සතියේ රැස්වීම ගැනත් අදහස් කිහිපයක් ඉදිරිපත් කරනවා. අත්‍යවශ්‍ය නිවේදන හා කියවන්න ලිපි තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරනවා. ඊටපස්සේ චාරිකා සේවකව හඳුන්වලා දෙනවා. දේශනයෙන් පස්සේ රැස්වීම අවසන් කරන්නෙත් අවසාන ගීතිකාව තෝරන්නෙත් චාරිකා සේවකයි. අවසාන යාච්ඤාව ඉදිරිපත් කරන්න වෙන සහෝදරයෙකුට ආරාධනා කරන්න එයාට පුළුවන්. චාරිකා සතියේදී අමතර පංති පවත්වන්නේ නැහැ. සභාවේ අධීක්ෂණය යටතේ කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා නම් එයාලාගේ රැස්වීම් වෙනම පවත්වන්න පුළුවන්. නමුත් සියලුදෙනාම චාරිකා සේවක සභාවට දෙන දේශනයට එකට සහභාගි වෙන්න ඕනේ.

 සමුළුවක් තිබෙන සතිය

21. චාරිකා සමුළුවක් හෝ තුන්දින සමුළුවක් පැවැත්වෙන සතියේ කිසිම සභා රැස්වීමක් පවත්වන්නේ නැහැ. ඒ සතියට නියමිත රැස්වීම්වල තොරතුරු තනියම හෝ පවුලක් විදිහට සලකා බැලිය යුතුයි.

 සිහි කිරීම තිබෙන සතිය

22. සිහි කිරීම පවත්වන්නේ සතියේ දිනක නම් ජීවිතය සහ දේවසේවය රැස්වීම ඒ සතියේ පවත්වන්නේ නැහැ.

 ජීවිතය සහ දේවසේවය රැස්වීම භාර සහෝදරයා

23. ජීවිතය සහ දේවසේවය රැස්වීම භාර සහෝදරයා විදිහට සේවය කරන්නේ වැඩිමහල් මණ්ඩලයෙන් තෝරගන්න වැඩිමහල්ලෙක්. මේ රැස්වීම හොඳින් සංවිධානය කරන්න සහ දීලා තියෙන මඟ පෙන්වීම්වලට අනුව රැස්වීම පැවැත්වෙනවාද කියලා බලන වගකීම පැවරෙන්නේ මේ සහෝදරයාටයි. ඒ වගේම ඔහු අමතර උපදේශක එක්ක හොඳින් අදහස් හුවමාරු කරගන්න ඕනේ. ‘ජීවිතය සහ දේවසේවය වැඩපොත’ ලැබුණ ගමන්ම ඊට අදාළ මාස දෙක සඳහා සති මැද රැස්වීමේ සියලු කොටස් සහෝදරයන්ට පැවරීමට ඔහු සැලසුම් කරයි. ( 3-16 සහ  24 ඡේද බලන්න.) ශිෂ්‍ය පැවරුම් ලබා දෙද්දී ශිෂ්‍යන්ගේ වයස, ලබලා තියෙන අද්දැකීම් සහ යම් යම් තොරතුරු ගැන කතා කරන්න එයාට නිදහස තියෙනවාද කියන එක ගැනත් මේ රැස්වීම භාර සහෝදරයා සැලකිල්ලට ගන්න ඕනේ. රැස්වීමේ අනික් කොටස් පවරද්දීත් ඒකම අදාළයි. ශිෂ්‍ය පැවරුම් අඩුම තරමින් සති තුනකට කලින් ශිෂ්‍යයන්ට ලබා දෙන්න ඕනේ. ඒ සඳහා ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීමේ පැවරුම’ (S-89) කියන ෆෝම් එක පාවිච්චි කරන්න. මුළු රැස්වීමේම පැවරුම් ඇතුළත් වැඩසටහනේ පිටපතක් දැන්වීම් පුවරුවේ දමන්න ජීවිතය සහ දේවසේවය භාර සහෝදරයා සැලසුම් කරන්න ඕනේ. එයාට උදව් කරන්න තවත් වැඩිමහල්ලෙක්ව හරි සහයක සේවකයෙක්ව හරි පත් කරන්න වැඩිමහල් මණ්ඩලයට අවස්ථාව තියෙනවා. ඒ වුණත් ශිෂ්‍ය පැවරුම් හැර අනිත් කොටස් පවරන කාර්යයට යොදාගන්න ඕනෙ වැඩිමහල්ලන්ව පමණයි.

    ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති

24. හැම සතියකම එක වැඩිමහල්ලෙක් ජීවිතය සහ දේවසේවය රැස්වීමේ සභාපති හැටියට වැඩ කරනවා. (වැඩිමහල්ලන්ගේ ගණන සීමිත නම් සුදුසුකම් ඇති සහයක සේවකයන්වත් මේ සඳහා යොදාගන්න පුළුවන්.) හැඳින්වීම සහ රැස්වීම අවසානයේ සාරාංශය ඉදිරිපත් කරන්නෙත් රැස්වීමේ හැම කොටසක්ම හඳුන්වලා දෙන්නෙත් රැස්වීමේ සභාපතිමයි. සභාවේ ඉන්නේ වැඩිමහල්ලන් කීපදෙනෙක් නම් සමහර අවස්ථාවලදී රැස්වීමේ යම් කොටස් ඔහුටත් කරන්න වෙයි. විශේෂයෙන්ම යම් කොටසක තියෙන්නේ සාකච්ඡාවක් නොකර වීඩියෝ එකක් ප්ලේ කරන්න විතරයි නම් සභාපතිට පුළුවන් එම කොටස කරන්න. කොටස් අතරතුර ඉදිරිපත් කරන අදහස් කෙටි විය යුතුයි. රැස්වීමේ සභාපති හැටියට වැඩ කරන්නේ කොයි වැඩිමහල්ලන්ද කියලා තීරණය කරන්නේ වැඩිමහල් මණ්ඩලයයි. සුදුසුකම් තියෙන වැඩිමහල්ලන් මාරුවෙන් මාරුවට රැස්වීමේ සභාපති හැටියට සේවය කරනවා. සමහරවිට සභාවේ තත්වයට අනුව සුදුසුකම් තිබෙන අනිත් වැඩිමහල්ලන්ට වඩා, ජීවිතය සහ දේවසේවය රැස්වීම භාර සහෝදරයාට රැස්වීමේ සභාපති හැටියට වැඩි වාර ගණනක් ලබා දෙන්න පුළුවන්. වැඩිමහල්ලෙක්ට සභා බයිබල් පාඩම මෙහෙයවන්න සුදුසුකම් තිබෙනවා නම් ඔහුට මේ රැස්වීමේ සභාපති හැටියට සේවය කරන්නත් සුදුසුකම් තියෙන්න පුළුවන්. ශිෂ්‍ය පැවරුම් ඉදිරිපත් කරන අයට ආදරයෙන් වගේම ඒ අයට ප්‍රයෝජනවත් උපදෙස් දෙන එකත් රැස්වීමේ සභාපතිගේ වගකීමක් කියලා මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි වෙලාවට රැස්වීම ඉවර වෙනවාද කියලත් එයා අවධානයෙන් ඉන්න ඕනේ. ( 17 සහ  19 ඡේද බලන්න.) සභාපති කැමති නම්, ඉඩකඩ තියෙනවා නම් වෙනම මයික් ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සභාපති ශිෂ්‍යයාව හඳුන්වලා දෙද්දී ශිෂ්‍යයාට පුළුවන් කථික පුවරුවට ගිහින් සූදානම් වෙන්න. ඒ වගේම සභාපති කැමති නම් “බයිබල් කියවීම” සහ “සේවය හොඳින් කරන්න ඉගෙනගමු” කියන කොටස් කරන වෙලාවේ වේදිකාවෙම තිබෙන වෙනත් මේසයක් ළඟ වාඩි වෙලා ඉන්නත් එයාට පුළුවන්. ඒකෙන් කාලය ඉතුරු වෙයි.

   අමතර උපදේශක

25. පුළුවන් නම් මේ වගකීම සඳහා කථිකයෙක් විදිහට අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක්ව තෝරගන්න. අමතර උපදේශකගේ වගකීම වෙන්නේ ජීවිතය සහ දේවසේවය රැස්වීම, බයිබල් දේශන, ‘මුරටැඹ’ පාඩම හෝ සභා බයිබල් පාඩම මෙහෙයවීම හෝ කියවීම ගැන වැඩිමහල්ලන්ට හෝ සහයක සේවකයන්ට ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක් අවශ්‍ය නම් එය පෞද්ගලිකව ලබා දෙන එකයි. ( 19වෙනි ඡේදය බලන්න.) වැඩිමහල්ලන් අතර දක්ෂ ගුරුවරුන් සහ කථිකයන් කීපදෙනෙක් ඉන්නවා නම් හැම අවුරුද්දකම ඒ අයගෙන් එක් කෙනෙක්ට මේ පැවරුම භාර දෙන්න පුළුවන්. හැම කොටසක් අවසානයේදීම අමතර උපදේශක උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ.

 අමතර පංති

26. සභාවේ ඉන්න ශිෂ්‍යයන්ගේ ගණනට අනුව අමතර පංති පවත්වන්න අවශ්‍ය වෙන්න පුළුවන්. හැම අමතර පංතියක්ම මෙහෙයවන්න සුදුසුකම් ඇති සහෝදරයෙක්ව පත් කරන්න ඕනේ. ඒ සඳහා වැඩිමහල්ලෙක්ව පත් කරන එක වඩාත් සුදුසුයි. සමහර අවස්ථාවලදී මේ සඳහා මනා සුදුසුකම් ඇති සහයක සේවකයෙක්ව වුණත් පත් කරන්නත් පුළුවන්. ඒ සඳහා පත් කරන්නේ කාවද සහ ඒක මාරුවෙන් මාරුවට කරන්න විවිධ අයව පත් කරන්න අවශ්‍යද කියලා තීරණය කරන්නේ වැඩිමහල් මණ්ඩලයයි. පත් කරන සහෝදරයා  18වෙනි ඡේදයේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කළ යුතුයි. “දේවවචනය නිධානයක්” යටතේ තිබෙන “දේවවචනයෙන් මැණික්” කියන කොටස අවසන් වුණාට පස්සේ ශිෂ්‍යයන්ව අමතර පංතියට යොමු කරන්න ඕනේ. අවසාන ශිෂ්‍ය පැවරුම අවසන් වුණාට පස්සේ මුළු සභාවම ආයේ එකතු වෙන්න ඕනේ.

 වීඩියෝ

27. තෝරාගත් වීඩියෝ මේ රැස්වීමේදී පෙන්වනවා. මේ වීඩියෝ ‘JW ලයිබ්‍රරි’ ඇප් එක හරහා ලබාගන්න පුළුවන් වගේම ඒවා ඩිවයිස් ගණනාවක ප්ලේ කරන්න පුළුවන්.

© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania

S-38-SN 11/23